විජයදාස හැප්පෙන තැන

විජයදාස හැප්පෙන තැන

June 25, 2024   09:10 pm

ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කරමින් සිය පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකිරීම සම්බන්ධයෙන් අධිකරණ සේවා සංගමයේ සභාපති සහ ලේකම් තනතුරු දරන විනිසුරුවරුන් දෙදෙනා පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට කැඳවා විමර්ශනයක් කරන ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කථානායකවරයාගෙන් ඉල්ලා තිබේ.

මේ අතර අධිකරණ සේවා සංගමය ඊයේ නිවේදනය කළේ, අධිකරණ අමාත්‍යවරයාගේ දේශපාලන පැවැත්ම අභියෝගයට ලක්කර ඇති නඩුකරවලදී අධිකරණ දුන් තීන්දුවලින් අතෘප්තිමත් වූ විජයදාස රාජපක්ෂ මහතා අපක්ෂපාතී විනිශ්චයකාරවරුන් අපකීර්තියට පත්කිරීමේ උත්සාහයක නිරත වී සිටින බවය.

අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පසුගිය 19 වැනිදා පාර්ලිමේන්තුවේ පැවති විවාදයක් අතරතුර පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී අධිකරණ පද්ධතිය විවේචනයට ලක්කරමින් සිදුකරන ලද වගකීම් විරහිත ප්‍රකාශ තුළ අධිකරණයේ ස්වාධීනත්වය ප්‍රසිද්ධියේ අභියෝගයට ලක්වී ඇති බව අධිකරණ සේවා සංගමය ඊයේ නිවේදනය කළේය. 

කෙසේවෙතත් එම නිවේදනය සම්බන්ධයෙන් අද කථානායකවරයා වෙත ලිපියක් යොමුකළ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාව නිකුත් කළ අංක 328 දරන චක්‍රලේඛය මගින් දිසා විනිසුරුවන් සහ මහෙස්ත්‍රාත්වරුන් ප්‍රසිද්ධ ප්‍රකාශ සිදුකිරීම වළකා තිබියදී, මෙවැනි නිවේදනයක් කිරීම සම්බන්ධයෙන් විනයානුකූල පියවර ගත හැකි බවය.

එමෙන්ම අධිකරණ සේවා සංගමය නිකුත් කළ අදාළ නිවේදනයේ ඇතුළත් ප්‍රකාශ තුළ සිය පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය වන බවද අමාත්‍යවරයා පවසයි. 

එබැවින් අධිකරණ සේවා සංගමයේ සභාපති දිසා විනිසුරු රුවන් දිසානායක මහතා සහ එම සංගමයේ ලේකම් ගාල්ල මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර යන මහත්වරුන් පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට කැඳවා විමර්ශනයක් කරන ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කථානායකවරයාගෙන් ඉල්ලා තිබේ.