රැකියා දෙන හැටි ජනපති කියයි

රැකියා දෙන හැටි ජනපති කියයි

June 17, 2024   01:41 pm

මෙරට අනාගතය රඳාපවතින්නේ, ඉදිරි වසර 05 තුළ ක්‍රියාත්මක කරනු ලබන ආර්ථික ප්‍රතිපත්ති මත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මන්නාරම ප්‍රදේශයේ පැවති සමුළුවක් අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, නිසි ආර්ථික සැලසුමකින් තොරව රට ඉදිරියට ගෙන යා නොහැකි බවය.

"දීප්තිමත් අනාගතයක් සඳහා වූ ගමනක්" මැයෙන් සංවිධාන කළ මන්නාරම දිස්ත්‍රික් තරුණ සමුළුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) පැවැත්විය.

එහිදී ජනාධිපතිවරයා තරුණ තරුණියන් අතරට ගොස් ඔවුන්ගේ ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට කටයුතු කළේය.

රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සෙල්වම් අඩෙක්කලනාදන්, උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාර්ල්ස් යන මහත්ම මහත්මීන් සහ පළාතේ දේශපාලන නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මන්නාරම දිස්ත්‍රික් ව්‍යාපාරික ප්‍රජාව අතර හමුවක් ද මන්නාරමේ දී ඊයේ පැවැත්විය.

පිරිස අමතමින් ජනාධිපතිවරයා එහිදී පවසා ඇත්තේ බිඳ වැටී තිබූ රටේ ආර්ථිකය දෙවසරක් වැනි කෙටි කාලයක් තුළ යළි නඟා සිටුවීමට තමාට හැකි වූ අතර ක්‍රමයෙන් රටේ ආර්ථිකය ශක්තිමත් වීමත් සමඟ ඉදිරියේදී සියලු පාර්ශව වෙත තවදුරටත් සහන සැලසීමට කටයුතු කරන බවය.

මන්නාරම දිස්ත්‍රික්කය තුළ පුළුල් සංවර්ධනයක් ඇති කිරීම වෙනුවෙන් රජය ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කර තිබුණි.