ජාතික රෝහලේ දී එන්නතක් තවත් ජීවිතයක් බිලිගනී

ජාතික රෝහලේ දී එන්නතක් තවත් ජීවිතයක් බිලිගනී

May 23, 2024   07:32 am

කොළඹ ජාතික රෝහලට පිළිස්සුම් තුවාල ලබා ඇතුළත් කළ රෝගියෙකු ප්‍රතිජීවක එන්නතක් ලබාදීමෙන් අනතුරුව මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

අදාළ පුද්ගලයා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ 17 වන වාට්ටුවට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහුට සෙෆියුරොක්සීම් නමැති ප්‍රතිජීවක ඖෂධය ලබා දී ඇති බව වාර්තා වේ.

එන්නත ලබාදීමෙන් අනතුරුව එම පුද්ගලයා මියගොස්  ඇති බව සඳහන්ය.

මෙලෙස මියගොස් ඇත්තේ 31 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු බව වාර්තා වේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් "අද දෙරණ" කොළඹ ජාතික රෝහලේ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතාගෙන් විමසීමක් කළේය.

ඔහු සඳහන් කළේ, අදාළ පුද්ගලයාගේ මරණය පිළිබඳව මේ වන විටත් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවය.

ප්‍රතිජීවක ඖෂධය ලබාදීම හේතුවෙන් එම මරණය සිදුවී ඇත් ද එසේත් නැතිනම් ඊට වෙනත් හේතුවක් බලපා ඇත් ද යන්න පිළිබඳ එහිදී අනාවරණය කරගත හැකි බව රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

කෙසේවෙතත් මියගිය රෝගියාට ලබාදුන් බව කියන ප්‍රතිජීවක එන්නත් කාණ්ඩය මේ වන විටත් භාවිතයෙන් ඉවත් කර ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.