ඔබත් සුදු වෙන්න මේ ක්‍රීම් ගෑවාද ?  - උකුස්සාගෙන් හෙළිදරව්වක්

ඔබත් සුදු වෙන්න මේ ක්‍රීම් ගෑවාද ?  - උකුස්සාගෙන් හෙළිදරව්වක්

March 27, 2024   07:50 pm

වෛද්‍ය නිර්දේශ මත පමණක් භාවිත කළයුතු ඖෂධයක් නීතිවිරෝධි ලෙස මෙරටට ගෙන්වා, සම පැහැපත් කිරීමේ ආලේපනයක් ලෙස අලෙවිකරන ජාවාරමක් නීතියේ රැහැනට හසුකරගැනුණි.

සමේ ඇතිවන රෝග සඳහා ඖෂධයක් ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ට පමණක් නිර්දේශ කළ හැකි ඖෂධ වර්ගයක් කොළඹ පිටකොටුවේ සුවඳ විලවුන් හා ක්‍රීම් වර්ග වෙළෙඳසැල්වල අලෙවි කෙරෙන බවට අද දෙරණ උකුස්සාට තොරතුරු අනාවරණ විය.

වැඩිදුරටත් සිදුකළ සොයාබැලීම්වලදී අනාවරණ වුණේ, අදාළ ක්‍රීම් වර්ගය මෙම වෙළෙඳසැල්වලින් මිලදීගන්නා ඇතැමුන් ඒවා සාමන්‍ය ක්‍රීම් වර්ග සමඟ මිශ්‍රකර සම පැහැපත් කරන ඖෂධයක් ලෙස අලෙවි කරන බවයි.

එම ඖෂධය භාවිතයෙන් කෙටි කලක් ඇතුළත සම සුදු පැහැගැන්වෙන බවට මතයක් පැවතීම නිසා ඒවා අලෙවිය වැඩි වශයෙන් සිදුවන බවද උකුස්සා තහවුරු කරගත්තේය.

ඒ අනුව මෙම ඖෂධය සොයා "අද දෙරණ" උකුස්සා සමග ඖෂධ නියාමන අධිකාරියේ ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් පිටකොටුව ප්‍රදේශයට ගියේය.

එම ඖෂධය සුවඳ විලවුන් හා ක්‍රීම් වර්ග අලෙවි කරන ස්ථානවල ගබඩාකර තිබුණි.

මෙම ඖෂධ මෙරට ලියාපදිංචි නොකළ, නීතිවිරෝධීව මෙරටට ආනයනය කරන ලද ඒවා බව එහිදී තහවුරු විය.

ඖෂධ පරීක්ෂකයින්  සඳහන් කළේ මෙම ඖෂධය ඉතා සීමිත කාලයකට වෛද්‍ය නිර්දේශ අනුව පමණක් භාවිත කළයුතු එකක් බවයි.

ඒ අනුව මෙම ඖෂධ සියල්ල නිලධාරින් සිය භාරයට ගත් අතර ඒවා අලෙවි කරනු ලැබූ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද පියවර ගත්තේය.

ඉදිරියේදීත් මෙවැනි නීතිවිරෝධී ක්‍රියා රට හමුවේ අනාවරණ කිරීමට "අද දෙරණ උකුස්සා" විමසිල්ලෙන්.