ගුවනින් පඳුරු ගෙනාවට මාංචු වැටෙයි

ගුවනින් පඳුරු ගෙනාවට මාංචු වැටෙයි

November 8, 2018   07:20 pm

තායිලන්තයේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ඇන්තූරියම් පඳුරු තොගයක් ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව, සංස්කෘතික සහ ජාතික උරුමයන් ආරක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින්  අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.

පෙරේදා (06) දින රාත්‍රී  කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් මොහු මීගමුව, තිඹිරිගස්කටුව ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි මල් පැල අලෙවි කිරීමේ යෙදී සිටින ව්‍යාපාරිකයෙකි.

ඔහු පෙරේදා (06) දින රාත්‍රී 11.55 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 402 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ, එහි කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " ඔස්සේ පිටතට යමින් සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

මෙම ව්‍යාපාරිකයා මෙම ඇන්තූරියම් පඳුරු මෙරටට ගෙන්වීම සදහා ශ්‍රී ලංකා රජයෙන් ලබා ගත යුතු ආනයන බලපත්‍රය මෙන්ම, මෙම පඳුරු අපනයනය කිරීමේ දී තායිලන්ත රජයෙන් නිකුත් කළ යුතු ශාක නීරෝධායන සහතිකය ද නොමැතිව, මෙම පඳුරු මෙසේ  රැගෙන විත් තිබූ නිසා, ශ්‍රී ලංකාවේ 1999 - ශාක සංරක්ෂණ පනත යටතේ මොහුව අත් අඩංගුවට ගෙන තිබුණි.

මොහු සිය ගමන් මලු වල රුපියල් ලක්ෂ 05 ක් වටිනා මෙම ඇන්තූරියම් පඳුරු 470 ක් අසුරා, සඟවා ගෙන සිටිය බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. 

මෙම අත්අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳව පරීක්ෂණ කටයුතු ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ස්ටැන්ලි සේනාරත්න මහතාගේ උපදෙස් මත, කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ එම්.ඒ.කරුණාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන ඕ.ජේ.ඔබේසේකර, එස්.පී. කිරිවත්තුඩුව, රේගු අධිකාරී රංජිත් ප්‍රනාන්දු, සහකාර රේගු අධිකාරීවරුන් වන එම්.ජී.ටී.පඹසර සහ එම්.පී.ඩී.ලංකා යන මහත්වරුන් විසින් සිදු කර තිබුණි .

 මේ පිළිබඳව වැඩිදුර රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ටී.එම්.විජේකුළසූරිය මහතා විසින් පැවැත්වූ අතර, එහිදී මෙම ඇන්තූරියම් පඳුරු තොගය රාජසන්තක කර මෙම ව්‍යාපාරිකයාට රුපියල් 5,000 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ.