එපා කී විවාහය කරගත්තාට ගන්න හැදූ පළිය

එපා කී විවාහය කරගත්තාට ගන්න හැදූ පළිය

May 7, 2024   09:44 pm

මව්පියන්ගේ විරෝධය මැද විවාහයක් කරගත් දියණියගේ පවුලට ඇයගේ පියා විසින් දැඩිව බලපෑම් කිරීමේ සිද්ධියක් පන්නිපිටිය ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

විවාහයෙන් පසුව ඔවුන් දෙදෙනා ජීවත්ව සිට තිබුණේ, පන්නිපිටිය වීරමාවතේ පිහිටි තරුණයාගේ නිවසේය. 

දිගින් දිගටම එල්ල වූ මේ බලපෑම් දරාගත නොහැකිව ඔවුන් දෙපළ ඩුබායි බලා පිටත්ව ගොස් තිබුණි.

ඔවුන් පවසන්නේ, එම රටටද පැමිණි තරුණියගේ පියා තමන්ට බලපෑම් කළ බවය. 

පසුව මෙම තරුණ යුවල යළි දිවයිනට පැමිණ වීරමාවතේ නිවසේ ජීවත්ව තිබුණි. 

මෙවන් පසුබිමක පසුගිය 29 වැනිදා දහවල් පන්නිපිටියේ පිහිටි තරුණයාගේ නිවසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බවට පවසමින් පුද්ගලයින් තිදෙනකු පැමිණි බව ඔවුන් පවසයි . 

එම අවස්ථාවේ නිවසේ සිටි මවගේ, ජංගම දුරකථනය පරීක්ෂා කර ඇති ඔවුන් මවට තර්ජනය කරමින් තරුණයාගේ ඡායාරූප කිහිපයක් ඔවුන්ගේ දුරකථන වලට යොමුකර ගෙන ඇති බව ඔවුන් පවසයි. 

එම නිලධාරී යැයි කියූ පිරිසගේ දුරකථන අංකයකට එදින පස්වරුවේ තරුණයාගේ පියා ඇමතුමක් ලබාදී තිබුණි.

පසුව අදාළ දියණියගේ පියාට අයත් බවට පැවසෙන තලවතුගොඩ පිහිටි හෝටලයක ඔවුන් තිදෙනා මත්පැන් පානය කරමින් සිටියදී සොයාගෙන තිබුණි.

අනතුරුව එම නිලධාරීන් තිදෙනාගෙන් දෙදෙනෙකු හෝටල් පරිශ්‍රයේ සැඟව ඇති අතර අනෙක් පුද්ගලයා සිය මෝටර් රථයකින් පළායමින් සිටියදී ප්‍රදේශවාසීන් විසින් අල්ලා ගෙන මහරගම පොලිසියට භාර දී තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබේ.

ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යැයි පෙනීසිටි වරායේ සේවකයෙකු වන අතර අනෙක් දෙදෙනා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් දෙදෙනෙකි.

පොලිසිය පැවසුවේ මේ වන විට ඔවුන්ගේ වැඩ තහනම් කර ඇති බවය.