ඉදිකිරීම් සිදු කළ හැක්කේ අවසරය ඇත්නම් පමනයි

ඉදිකිරීම් සිදු කළ හැක්කේ අවසරය ඇත්නම් පමනයි

October 17, 2018   04:41 am

නායයෑම් අවදානම ඇති දිස්ත්‍රික්කවල සිදු කරන රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සියලු ඉදිකිරීම් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අනුමැතිය මත පමණක් සිදු කරන ලෙස එම ආයතනය ඉල්ලා සිටියි.

එම ආයතනය මෙම ඉල්ලීම සිදු කිරීමට තීරණය කර ඇත්තේ හැටන් බගවන්තලාවේ සිදු වූ නිවාස නායයාමේ සිද්ධියෙන් පසුවයි.

මේ අතර නොර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේ මාර්ගයේ සිදු වූ නායයාම හේතුවෙන් විකල්ප තාවකාලික මාර්ගයක් ඉදිකිරිම කෙරෙහි මාර්ග සංවර්ධන අධිකාරියේ අවධානය යොමුව තිබේ.

ඉකුත් 8 වනදා සිට බගවන්තලාව බෑවුම් සහිත මෙම ප්‍රදේශය ඉරිතලා යමින් නායයාම් ලක්ෂණ මතුවීමත් සමග එහි පදිංචි පවුල් පහකට අයත් සාමාජිකයින් 23 දෙනෙකුට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් ස්ථිරවම එම නිවාස වලින් ඉවත් වන ලෙස උපදෙස් ලබා දී තිබුණි.

නායයාම් අවදානම 15වනදා පෙරවරුවෙ සක්‍රීය වු අතර හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ අඩි 100 ක කොටසක් හා ප්‍රධාන මාර්ගය අසල තිබූ මෙම නිවාස 05 අවස්ථා දෙකකදී මධ්‍යහනේ නායයෑමට ලක්ව කාසල්රි ජලාශයට කඩා වැටුණි.

එම ස්ථානයේ තවත් නිවාස දෙකක් නායයෑමේ අවදානමකට ලක්ව ඇති අතර ඒවායේ නිවැසියන්ද ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට පොලිසිය අද පියවර ගෙන ඇත.

නායයෑම හේතුවෙන් මේ වනවිට පවුල් 7කට අයත් සාමාජිකයින් 30 දෙනෙකු පමණ අවතැන්ව සිටියි.

අදාල ප්‍රදේශ පරීක්ෂාවට ලක් කළ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් ඊයේ(16) අනාවරණ කර සිටියේ නායයාමට ලක්වූ නිවාස සහ මාර්ගය ගල් තලාවක පස් තට්ටුවක් මත පිහිටිම හේතුවෙන් මෙලෙස නායයාමට ලක්ව ඇති බවයි.

ප්‍රධාන මාර්ගය ගිලා බැසීමත් සමඟ නොර්වුඩ්, බගවන්තලාව,මස්කෙළිය සහ නල්ලතන්නිය යන ප්‍රෙද්ශවල ජනතාවගේ ගමනාගමන කටයුතු අඩාල වු අතර මේ හෙතුවෙන් ජනතාවගේ දෛනික කටයුතු වලට ගැටලු රැසක් මතුවී ඇත. 

ප්‍රදේශයේ තත්ත්වය ‍සොයා බැලීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පිරිසක් ද ඊයේ නායගිය ස්ථානයට පැමිණ විශේෂ නිරීක්ෂණක් සිදු කළේය.

නායගිය ස්ථානය අසලින්ම කන්ද කපා තාවකාලික මාර්ගයක් ඉදිකිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ නිලධාරීන් ස්ථාන පරීක්ෂාවක් සිදුකරනු ලැබූ අතර එම මාර්ගය ඉදිකරන‍ තෙක් නාය ගිය ස්ථානයට ඉහළින් තේ වතු යාය හරහා දැනට තිබෙන මාර්ගය පුළුල් කර සැහැල්ලු වාහන පමණක් ධාවනය කරවීමට නෝවුඩ් මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබේ. 

එසේම නායයාම් අවදානම ඇති ස්ථානවල මාර්ග ඉදිකිරීමේදී තාක්ෂණික සහාය ලබාදීමට සූදානම් බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.