නිවසේ තනිවම සිටි කාන්තාවකට කළ අපරාධය

නිවසේ තනිවම සිටි කාන්තාවකට කළ අපරාධය

April 25, 2024   09:09 pm

හොරණ වීදියගොඩ ප්‍රදේශයේ නිවසක තනිව සිටි කාන්තාවකගේ සිරුරට පෙට්‍රල් දමා ගිනි තැබීමේ සිද්ධියක් වාර්තා වී තිබේ.

එහිදී තුවාල ලබා ඇත්තේ 63 හැවිරිදි කාන්තාවකි.

එම කාන්තාවගේ අසල්වැසි පුද්ගලයෙකු විසින් මෙම අපරාධය සිදුකර ඇති බවට පොලීසිය සැකපළ කරයි.

අදාළ සැකකරු එම නිවසට ඇතුළුවන ආකාරයත් ඉන් පිටව යන ආකාරයත් නිවසේ සවිකර තිබූ CCTV කැමරාවේ පටිගතව ඇත.

ඉඩම් ආරවුලක් දුරදිග යාමෙන් අනතුරුව සැකකාර පුද්ගලයා මෙම ගිනිතැබීම සිදුකරන්නට ඇති බවට පොලීසිය සැක පළකරයි.

මොරගහහේන පොලිසිය පවසන පරිදි, කලකට පෙර රුපියල් ලක්ෂ 60කට විකිණීමට තීරණය කර තිබූ සැකකරු සතු ඉඩමක්  පසුව රුපියල් ලක්ෂ 80කට විකිණීම සඳහා ගැණුම්කරුවෙකු සොයාගැනීමට ඔහුට හැකිවී තිබේ.

ඒ අනුව අදාළ ගැණුම්කරු රුපියල් ලක්ෂ 3ක අත්තිකාරම් මුදලක් ඉඩම අයිති සැකකරුට ලබාදී තිබුණේ ඉඩම මිලදී ගැනීම ස්ථීර කරමිනි.

පසුව අසල්වැසි කාන්තාවක් ගැණුම්කරුට පවසා ඇත්තේ ඔහු රුපියල් ලක්ෂ අසූවකට මිලදීගැනීමට සූදානම් වන්නේ රුපියල් ලක්ෂ 60කට අලෙවිකිරීමට සැලසුම්කර තිබූ ඉඩමක් බවය.

ඉන් උරණ වූ ගැණුම්කරු ඉඩම් හිමියා හමුවී ඔහුට දෝෂාරෝපණය කර ඉඩම වෙනුවෙන් ලබාදුන් අත්තිකාරම් මුදලද යළි ලබාගෙන තිබේ.

මෙම සිදුවීමෙන් කෝපයට පත් ඉඩම් හිමියා මෙලෙස එම කාත්තාවගේ නිවසට පැමිණ ගිනි තැබීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පානදුර කොට්ඨාශ විශේෂ විමර්ශන ඒකකය සහ මොරගහහේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.