ලුණුගම්වෙහෙර දී සිදු වූ අනතුරෙන් කතක් මරුට - 50කට තුවාල

ලුණුගම්වෙහෙර දී සිදු වූ අනතුරෙන් කතක් මරුට - 50කට තුවාල

October 12, 2018   07:33 pm

හම්බන්තොට - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ලුණුගම්වෙහෙර නව බස්නැවතුම්පල ආසන්නයේදී බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් පුද්ගලයින් 50කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.

අද(12) දහවල්  12.00ට පමණ මාතර සිට අම්පාර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ දෙහිඅත්තකණ්ඩිය සිට මාතර බලා ධාවනය වූ ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණි.

අනතුරින් බස් රථ දෙකේ රියදුරන් ඇතුළු පුද්ගලයින් 50 දෙනෙකු පමණ තුවාල ලැබූ බව පොලීසිය සඳහන් කළේය.

තුවාල ලැබූවන් ප්‍රතිකාර සදහා ලුණුගම්වෙහෙර, දෙඹරවැව සහ හම්බන්තොට යන රෝහල්වෙත ඇතුළත් කෙරුණු බව සඳහන්ය.

හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 74 හැවිරිදි කාන්තාවක් අද පස්වරුවේ මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේය.

අනතුර සම්බන්ධයෙන් ලුණුගම්වෙහෙර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.