තවත් ඉන්ධන නෞකාවක් දිවයිනට
March 16, 2026 11:48 am
අද (16) උදෑසන වන විට තවත් ඉන්ධන නෞකාවක් දිවයිනට පැමිණ ඇති බවත් එම නෞකාවේ ඉන්ධන අද දිනයේම ගොඩබෑමට කටයුතු සූදානම් කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා පවසයි.
ඒ මහතා පැවසුවේ අද පැමිණි නෞකාවේ ඩීසල් මෙට්‍රික් ටොන් 18,000ක්, පෙට්‍රල් මෙට්‍රික් ටොන් 17,000ක් සහ සුපරී ඩීසල් මෙට්‍රික් ටොන් 3,000ක් අඩංගු බවය.
එමෙන්ම මේ වන විට ඇනවුම් කළ සියලුම නෞකා දිවයිනට පැමිණෙමින් තිබෙන බවද පෙන්වා දුන් ඒ මහතා සඳහන් කළේ මේ වන විට පිරවුම්හල් වෙතින් ලැබී ඇති ඇනවුම්ද බෙදා හැරීමට පියවර ගෙන ඇති බවය.
තවද QR ක්‍රමවේදය මගින් ඉන්ධන බෙදා හැරීමට අදාළව ගත් පියවර හේතුවෙන් ඇතැම් පාර්ශ්වයන් ව්‍යාජ ගිණුම් භාවිත කරමින් තොරතුරු රැස් කරමින් තිබෙන බව වාර්තා වී ඇති බවත් පෙන්වා දුන් කළමනාකාර අධ්‍යක්ෂකවරයා පැවසුවේ රජය විසින් හඳුන්වා දී ඇති වෙබ් අඩවිය හැර වෙනත් කිසිදු වෙබ් අඩවියක් හෝ වෙනත් පාර්ශ්වයන් සඳහා තොරතුරු ලබා දීමෙන් වළකින ලෙසය.
වංචනික පුද්ගලයින් විසින් එවැනි තොරතුරු ලබා ගනිමින් QR කේත සකස් කිරීම් මේ වන විට වාර්තා වී ඇති බවත් පෙන්වාදුන් ඒ මහතා පැවසුවේ මෙලෙස ව්‍යාජ තොරතුරු ලබා දීම තුළින් නියමිත පුද්ගලයින්ට නැවත QR කේත සකස් කර ගැනීමේ අවස්ථාවද අහිමි වන බවය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා,
"අද උදෑසන 10.00 වෙනකොට තව එක නෞකාවක් කොළඹ වරායට සේන්දු වුණා. මේ වෙද්දි අපේ නිලධාරීන් නැවට ගොඩවෙලා සාම්පල පරීක්ෂා කරනවා. ඒ පරීක්ෂාවෙන් පස්සේ අද දිනයේම ගොඩබාන්න පටන් ගන්නවා. එහි අපිට ලැබෙනවා ඩීසල් මෙට්‍රික් ටොන් 18,000ක් සහ පෙට්‍රල් 17,000ක් සහ සුපරි ඩීසල් 3000ක්. ඒ වගේම අපි ඇනවුම් කළ නෞකාවන් සුපුරුදු පරිදි සේන්දු වීමට තිබෙනවා කොළඹ වරයට.
ඊට අමතරව අද දිනය වෙනකොට CPC එකට ඇනවුම් 616ක් LIOC එකට ඇනවුම් 204ක් සහ සිනොපැක් එකට 247, ආර්.එම් පාර්ක් එකට 248ක් වශයෙන් ඇනවුම් ලැබිලා තියෙනවා. ඒ අනුව අපි සියලුම ස්ථානවලට ඇනවුම් බෙදා හැරීම සිදුකළා. ඒ වගේම ඊයේ දිනයේ පැවැති සාකච්ඡා අනුව මගි බස් රථ සඳහා ඩිපෝවලින් තෙල් දෙන්න සැලසුම් කරලා තියෙනවා. ඒ අනුව උදේ පාන්දරම ඩිපෝ සඳහා තෙල් බවුසර් පිටත් කර හැරියා.
ඒ වගේම මේ වෙද්දි අපි ක්‍රියා කරමින් ඉන්නවා වාහන සහ මොබයිල් නම්බර්ස් මාරු කරලා රෙජිස්ටර් වෙන්න බැරිවුණ අයගේ ප්‍රශ්න විසඳන්න. නමුත් ඒ අතර කියන්න ඕනේ මේ වෙද්දි අපිට දැකගන්න හම්බුණා ව්‍යාජ එකවුන්ට් හදලා තියනවා ඛනිජ තෙල් සංස්ථාව නමින් ඒ එකවුන්ට්වලින් උත්සාහ ගන්නවා නොයෙකුත් දත්ත රැස් කරන්න.
සමහරු සියලු තොරතුරු ගන්නවා අරන් අනුන්ගේ නම්වලට QR කෝඩ් හදාගන්න උත්සාහ ගන්නවා. ඒක නිසා fuelpass.gov.lk කියන වෙබ් අඩවියට හැර වෙනත් කිසිම වෙබ් සයිට් එකක් අපි පබ්ලිශ් කරලා නෑ. ඒ කිසිම එකකට දත්ත ලබා දෙන්න එපා. එහෙම කරලා ඒ අය වෙනම පාස් එකක් හදාගන්නවා. එතකොට ඔබට පාස් එකක් හදා ගන්න තියෙන අවස්ථාව නැති වෙනවා."
