නාමල්ට අයත්ව තිබූ මෝටර් රථය වසර දෙකකට පසු මුදාහරියි

නාමල්ට අයත්ව තිබූ මෝටර් රථය වසර දෙකකට පසු මුදාහරියි

October 12, 2018   06:26 pm

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත්ව තිබූ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිය බාරයට ගත් "ෆෝර්ඩ් මස්ටෑන්ග්"  වර්ගයේ මෝටර් රථය යළි එහි වත්මන් හිමිකරු වෙත මුදාහරින ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ(11) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කළේය.

අදාළ මෝටර් මෙලෙස මුදා හරිනු ලැබුවේ වසර දෙකකට පසුවයි. 

2016 සැප්තැම්බර් මස 05 වනදා කඩුවෙල ප්‍රදේශයේ නිවසක නවතා තිබියදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මෙම මෝටර් රථය අත්අඩංගුවට ගනු ලැබුවේ එම රථය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් භාවිත කර පසුව වෙනත් පාර්ශ්වයකට පැවරූ බව පවසමින්ය.

මෝටර් රථය තම බාරයට ගැනීමෙන් අනතුරුව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ඒ සම්බන්ධයෙන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ අතර එහිදී මෝටර් රථය  සහ එහි හිමිකාරිත්වය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා අධිකරණය FCID යට අවසර ලබාදුන්නේය.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් මෙන්ම මෝටර් රථයේ නව හිමිකරුගෙන්ද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ප්‍රකාශ සටහන් කරගත් අතර නාමල් රාජපක්ෂ මහතා සඳහන් කර තිබුණේ තමාට හිමිවූ බදු රහිත වාහන බලපත්‍රයෙන් තමා මෙම මෝටර් රථය මිලදී ගත් බවයි.

කෙ‍සේ වෙතත් වසර පහක් භාවිත කිරීමෙන් පසුව 2016 වසරේදී නාමල් රාජපක්ෂ මහතා විසින් මෝටර් රථය W.M ශාන්තිනී නැමැති කාන්තාවකට රුපියල් ලක්ෂ 85ක මුදලකට අලෙවි කර තිබුණි.

ඇය මෝටර් රථය මිලදී ගැනීමට වියදම් කළ මුදල ඉපැයූ ආකාරය හෙළි කිරීමට අපොහොසත් වූ බවට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කළේය.

කෙසේ වෙතත් මේ වනතෙක් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් නඩුවට අදාළව සැකකරුවන් කිසිවෙක් නම් කර නොමැත.

මෙවැනි පසුබිමක මෙම මෝටර් රථයේ වත්මන් හිමිකාරිය සිදුකළ ඉල්ලීමකට අනුව වසර දෙකකට අධික කාලයක් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය බාරයේ පැවති රථය වත්මන් හිමිකරුවන් වෙත මුදා හරින ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළේය.

ඒ අනුව අද පස්වරු 2.30 ට පමණ මෝටර් රථයේ වත්මන් හිමිකාරිනී W.M ශාන්තිනී මහත්මිය FCID ය වෙත පැමිණ රථය රැගෙන යනු ලැබුවේය.