යශෝධ රංගේබණ්ඩාරට එරෙහි නඩුව කල්යයි

යශෝධ රංගේබණ්ඩාරට එරෙහි නඩුව කල්යයි

July 5, 2018   11:34 am

 

රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගේබණ්ඩාර විසින් හලාවත,බංගදෙණිය - කෝට්ටපිටිය මංසන්ධියේදී රිය අනතුරක් සිදු කර නිවසකට අලාභ හානි සිදු කළේ යැයි කියන සිද්ධියට සම්බන්ධ නඩුව ලබන 24 වැනිදා නැවත කැඳවීමට හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රත් මංජුල තිලකරත්න මහතා 05 වැනිදා නියෝග කළේය.

පසුගිය මස 06 වැනිදා මෙම අනතුර සිදුවී තිබු අතර අනතුරින් කැබ් රථය පැදවූ බව කියන යශෝධ රංගේබණ්ඩාර තුවාල ලබා හලාවත මහා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව කොළඹ ජාතික රෝහලට මාරු කර යැවිනි.

ජාතික රෝහලෙන් සිය කැමැත්තෙන් පිටව ගිය ඔහු පුද්ගලික රෝහලකට ඇතුළත් වී ප්‍රතිකාර ලැබූ අතර එම පුද්ගලික රෝහලට පැමිණි කඩුවෙල මහේස්ත්‍රාත්වරයා යශෝධ රංගේබණ්ඩාරව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කෙරිණි.

පසුගිය මස 14 වැනිදා යශෝධ රංගේබණ්ඩාරව හලාවත දිසා විනිසුරුවරයා විසින් රුපියල් 50,000 ක ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කළේය.

පසුගිය 26 වැනිදා මෙම නඩුව යලි කැදවූ විට අලාභ හානි වූ නිවස ජූලි මස 05 වැනිදාට පෙර සාදා නිම කරන ලෙස දිසා විනිසුරුවරයා නියෝග කර එදින දක්වා නඩුව කල් තැබිනි.

ඒ අනුව 05 වැනිදා නඩුව කැදවූ අවස්ථාවේදී යශෝධ රංගේබණ්ඩාර වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥ ෂෙරාන් දේවප්‍රිය හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ අදාළ නිවසේ තිබී අලාභ හානි වූ බව කියන ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරන මේ වන විට ලබා දී ඇති බවත්,නිවසේ අළුත්වැඩියා කිරීමේ කටයුතු 90% ක් අවසන් වී ඇති බවත්ය.

ඉදිරි නඩු දිනයට පෙර ඉතිරි කොටසද අවසන් කරන බව නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේය.

අනතුරුව මෙම නඩුව යලි කැදවීම මෙම මස 24 වැනිදා දක්වා කල් තැබීමට දිසා විනිසුරුවරයා නියම කළේය.