සාලාවේ පිපිරීමෙන් දේපල හානිවූ රණවිරුවන් පිරිසක් උද්ඝෝෂණයක

සාලාවේ පිපිරීමෙන් දේපල හානිවූ රණවිරුවන් පිරිසක් උද්ඝෝෂණයක

June 24, 2018   07:15 pm

 

සාලාව හමුදා කදවුරේ සිදුවූ පිපිරීමෙන් දේපල හානිවූ ආබාධිත හමුදා සෙබළුන් පිරිසක් ඇතුළු ජනතාව අද (24) උද්ඝෝෂණයක නිරත විය.

ඒ අදාළ සිදුවීමෙන් දෙවසරකට අධික කාලයක් ගතවුවද විනාශවී ගිය තම දේපළ යථාතත්වයට පත්කිරීමට බලධාරීන් නිසි කැපවීමක් නොකළ බවට චෝදනා කරමින්.

2016 වසරේ ජුනි 5 වැනිදා සිදුවූ කොස්ගම - සාලාව යුද හමුදා කඳවරේ පිපිරීම නිසා ප්‍රදේශයේ ජීවත්වූ වැසියන්ගේ දේපල රැසක් විනාශයට පත්විය.

ගෙවුණු දෙවසර තුළ ඇතැම් පුද්ගලයින් මෙම සිදුවීමෙන් පටු වාසි ලැබුවද කොස්ගම රණවිරු ගම්මානයේ ආබාධිත රණවිරුවන්ට සාධාරණයක් ඉටුනොවූ බවට එම රණවිරු ගම්මානයේ වැසියන් චෝදනා කරයි.

ඔවුන් පෙන්වා දෙන්නේ සාලාව සිදුවීමට දෙවසරක් ගියද තවමත් තම නිවාස පිළිසකර කිරීමට කිසිදු පාර්ශ්වයක් මැදිහත් නොවූ බවයි.

ඇතැම් නිවාස තවමත් අබලන් තත්වයේ පැවතීම නිසා තමන්ට එහි ජීවත්වීම අසීරු අඩියකට පත්ව ඇති බව මෙම ආබාධිත රණවිරුවන් පවසයි.

මෙම වැසියන්ට සාධාරණයක් ඉටුකිරීමේ අරමුණින්  ඉරබටු තරුව සමාජ සත්කාරක සංවිධානය සහ කොස්ගම රණවිරු ගම්මානයේ ආබාධිත රණවිරුවන් අද පෙරවරුවේ සාලාව මංසන්ධියට පැමිණ මෙලෙස නිහඩ විරෝධතාවක නිරත විය.

විරෝධතාවට ආබාධිත රණවිරු පවුල් 107කට අයත් සාමාජිකයින් එක්ව සිටියේය.