ජනපති නියෝගයෙන් සද්ධන්තයින් දෙදෙනාට සිංහරාජය නැවතත් හිමිවෙයි

ජනපති නියෝගයෙන් සද්ධන්තයින් දෙදෙනාට සිංහරාජය නැවතත් හිමිවෙයි

June 14, 2018   05:04 pm

ලෝක උරුමයක් වූ සිංහරාජ රක්ෂිතයේ සැරිසරන දුර්ලභ ගනයේ අලි දෙදෙනා තවදුරටත් එම රක්ෂිතයේම රඳවා තබන ලෙස ජනාධිපතිවරයා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත උපදෙස් දී තිබේ.

යම් හෙයකින් මෙම අලි දෙදෙනා වෙනත් වාසස්ථානයක් කරා යොමු කිරීමට සිදුවන්නේ නම් ඒ පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති පිරිසක් විසින් සිදුකරන ලද පූර්ණ විද්‍යාත්මක අධ්‍යයනයකින් අනතුරුව පමණක් ඉදිරි පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා පරිසර අමත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක සහ වන සංරක්ෂක අධ්‍යක්ෂ ජනරාල් අනුර සතුරුසිංහ යන මහත්වරුන් වෙත උපදෙස් ලබා දී ඇත.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙම උපදෙස් ලබා දී ඇත්තේ අද (14) මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ දී එම නිලධාරින් සමඟ පැවති හමුවකදීය.

මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් නිලධාරින්ට උපදෙස් දී ඇත්තේ, මෙරට අලි සම්පත රැක ගැනීම වෙනුවෙන් එම සතුන් ඔවුන්ට අයත් භූමිය තුළම සංරක්ෂණය කිරීමට පියවර ගන්නා ලෙසයි.

ලෝක ප‍්‍රජාවගේ අවධානයට යොමුව ඇති ඉතා සුවිශේෂී ජෛව වැදගත්කමකින් යුතු සිංහරාජ වනාන්තරයේ වටිනාකම් ආරක්ෂා කර ගැනීමේ වගකීම ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී ඇත.

මෙම අලි දෙදෙනාගෙන් ප‍්‍රදේශවාසීන්ට සිදුවන බාධා වළක්වා ගැනීම වෙනුවෙන් ඒ ආශි‍්‍රතව අලි වැට ඉදිකිරීමේ කටයුතු කඩිනම් කරන ලෙෂ ද ජනාධිපතිවරයා අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දෙනු ලැබීය.

නව පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කෙරුණු අජිත් මාන්නප්පෙරුම මහතා අද (14) එම අමාත්‍යාංශයේ දී සිය ධූරයේ වැඩ භාරගත් අතර, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ද එම අවස්ථාවට එක්විය.

අනතුරුව ජනාධිපතිවරයා අමාත්‍යාංශ නිලධාරින් සමඟ මෙම සාකච්ඡාවට එක්විය.

නියෝජ්‍ය අමාත්‍ය අජිත්. පි. පෙරේරා මහතා ඇතුළු පිරිසක් ද මීට එක්ව සිටියහ.