සිංහරාජෙ සද්ධන්තයින් දෙන්නා ඉවත් කළොත් ලෝක උරුම ලැයිස්තුවෙන් සිංහරාජෙ ගැලවෙන ලකුණු

සිංහරාජෙ සද්ධන්තයින් දෙන්නා ඉවත් කළොත් ලෝක උරුම ලැයිස්තුවෙන් සිංහරාජෙ ගැලවෙන ලකුණු

June 14, 2018   08:54 am

ලෝක උරුම සිංහරාජ අඩවියේ සැරිසරන වන අලි දෙදෙනා ඉන් ඉවත් කළහොත්, සිංහරාජය ලෝක උරුමයක් ලෙස සැලකීම අවධානමකට ලක්වන බවට යුනෙස්කෝ සංවිධානය විසින් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට දැනුම් දී ඇතැයි සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් පවසයි.

ඊයේ(13) කොළඹ පැවති එම සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ මාධ්‍ය හමුවකට එක් වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියේය.

යුනෙස්කෝ සංවිධානය විසින් ඊමේල් පණිවිඩයක් මඟින් මේ බව දන්වා ඇති බව ද උන්වහන්සේ පැවසීය.

ලෝක ප්‍රජාවගේ අවධානය යොමුව ඇති ස්ථානයක් ලෙස අවසන් වශයෙන් වත්මන් ආණ්ඩුවට ඉතිරිව ඇත්තේ මෙම වනාන්තරය පමණක් වුවත් එය රැක ගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් බලධාරීන්ට නොමැති බව ද උන්වහන්සේ සඳහන් කරයි.

සිංහරාජයේ ජීවත් වෙන මෙම වටිනා අලින් දෙදෙනා මේ වන විට හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය වෙත රැගෙන යෑමට වනජීවි අමාත්‍යවරයා තීරණය කර ඇති බවත් එවැනි දෙයක් සිදු වුවහොත් භයානක ප්‍රතිඵල අත්විඳීමට ජනතාවට සිදුවන බව ද පාහියන්ගල හිමියන් මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් විධිමත් ලෙස සාකච්ඡා කර විශේෂඥයින්ගේ දැනුම සමඟ නිවැරදි තීරණයක් ගන්නා ලෙස රජයට බලකර සිටින බව ද පැවසු උන්වහන්සේ, අද වන විට සිංහරාජය සම්බන්ධයෙන් හා අලි දෙදෙනා සම්බන්ධයෙන් ගෙන ඇති තීරණ පිළිබඳ කණගාටුවට පත්වෙන බව ද පැවසීය.

කෙසේ වෙතත් මෙම මාධ්‍ය හමුව සඳහා පරිසර සංරක්ෂණවේදීන් රැසක් එක්ව සිටි අතර ඔවුන් කියා සිටියේ, හොරොව්පතානට ගෙන ගොස් දමා අලි දෙදෙනා මිනිසුන් ඝාතනය කිරීමට පෙළඹුනහොත් හිතාමතා එවැනි තත්ත්වයක් ඇති කළ බැවින් ඒ සම්බන්ධයෙන් නඩු මඟට හෝ බැසීමට පසුබට නොවන බවයි.

එනිසා පත්ව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා අගමැතිවරයා එක්ව තීරණයක් ගන්නා ලෙස ද ඔවුන් ඉල්ලීමක් කර සිටියේය.