ලෝක උරුමයෙන් සිංහරාජය ඉවත් වුණොත් එහි වගකීම ජනපති බාරගත යුතුයි

ලෝක උරුමයෙන් සිංහරාජය ඉවත් වුණොත් එහි වගකීම ජනපති බාරගත යුතුයි

June 14, 2018   03:43 pm

ලෝක උරුම සිංහරාජ අඩවියේ සැරිසරන වන අලි දෙදෙනා ඉන් ඉවත් කිරීම නිසා එය ලෝක උරුමයක් ලෙස සැලකීමෙන් ඉවත් කළහොත් එහි වගකීම ජනාධිපතිවරයා ඇතුළු නිලධාරීන් එයට වගකිව යුතු බව සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් පවසයි.

අද(14) උදෑසන අද දෙරණ 24X7නාලිකාව තුළින් විකාශය වු බිග් ෆොකස් සජීව වැඩසටහනට එක්වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියේය.

සිංහරාජ අඩවියේ සැරිසරන වන අලි දෙදෙනා ඉන් ඉවත් කළහොත්, සිංහරාජය ලෝක උරුමයක් ලෙස සැලකීම අවධානමකට ලක්වන බවට යුනෙස්කෝ සංවිධානය විසින්ම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට දැනුම් දී ඇති බව ද පැවසු ආනන්ද සාගර හිමියන්, පෞද්ගලික න්‍යාය පත්‍රයක තීරණ ගත නොහැකි වුවත් එවැනි තීරණ ගැනීම අවාසනාවන්ත කටයුත්තක් බව ද කියා සිටියේය.

තෙත් කලාපයේ සිටින මෙම අලින් දෙදෙනා ආරක්ෂා කර ගැනීමට ජාත්‍යන්තරය පවා ඉදිරිපත් වීමේ දී ලංකාවේ අවාසනාවට එවැනි කිසිවක් සිදු නොවන බව ද උන්වහන්සේ වැඩිදුරටත් පැවසීය.

සිංහරාජයේ ජීවත් වෙන මෙම වටිනා අලින් දෙදෙනා මේ වන විට හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය වෙත රැගෙන යෑමට කටයුතු කරන බවත් එවැනි දෙයක් සිදුවී යම් විනාශකාරි දෙයක් සිදුවුවහොත් එයට සියලු බලධාරින්ට වගකීමට සිදුවන බව ද ආනන්ද සාගර හිමියන් වැඩිදුරටත් කියා සිටියේය.