යතුරු පැදි අනතුරින් බස් රථයේ රෝදයට යටවී මවත් සිඟිති දියණියත් ජීවිතයට සමුදෙයි-පියාට බරපතළයි

යතුරු පැදි අනතුරින් බස් රථයේ රෝදයට යටවී මවත් සිඟිති දියණියත් ජීවිතයට සමුදෙයි-පියාට බරපතළයි

June 14, 2018   11:38 am

කුරුණෑගල-මහනුවර ප්‍රධාන මාර්ගයේ නුගවෙල ඩිපෝව අසලදී සිදුවු රිය අනතුරකින් පියා බරපතළ තුවාල ලබා මව සහ කුඩා දියණියක් ‍මිය ගොස් තිබේ.

අද(14) උදෑසන 7.50ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, බරපතළ තුවාල ලැබූ තිදෙනා නුගවෙල තිත්තපජ්ජල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මව සහ කුඩා දියණිය මිය ගොස් ඇති බව පොලීසිය පවසයි. 

මෙසේ මිය ගොස් ඇත්තේ චාන්දනී කුමාරී නැමති වයස අවුරුදු 24 ක් වු අඹන්පොළ ප්‍රදේශයේ පදිංචි තරුණ මවක් හා ඇයගේ වයස අවුරුදු 2 යි මාස 3 ක් වු සඳලි තාරකා නැමති දියණියයි.

මව, පියා සහ දියණිය කුරුණෑගල දෙස සිට කටුගස්තොට දෙසට යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ඉදිරියෙන් එම දිසාවටම ගමන් කළ යතුරුපැදියක පසුපස ගැටී ඇත.

අනතුරුව කටුගස්තොට සිට කුරුණෑගල දක්වා ගමන් ගත් පුද්ගලික බස් රථයක පසුපස රෝදයට යටවීමෙන් මෙම මාරක රිය අනතුර සිදුවු බව පොලීසිය සඳහන් කරයි.

මෘත ශරීර මේ වන විට තිත්තපජ්ජල රෝහලේ තැන්පත් කර ඇත.

බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලීසිය පවසයි.

කටුගස්තොට පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.