ගම්බිම් බලා ගිය ජනතාවගේ පහසුව උදෙසා අතිරේක බස් රථ සේවාවක්

ගම්බිම් බලා ගිය ජනතාවගේ පහසුව උදෙසා අතිරේක බස් රථ සේවාවක්

April 16, 2018   04:19 pm



අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවගේ පහසුව උදෙසා අතිරේක බස් රථ සේවාවක් ක්‍රියාත්මක කර ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන, පී.එච්.ආර්.ටී චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ ලබන 25 වන දින දක්වා මෙම විශේෂ බස් රථ සේවාව ක්‍රියාත්මක කරන  බවයි.

ඊයේ දිනයේ සිට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ ධාවන කටයුතු ආරම්භ වූ අතර දුර පළාත් වල සිට කොළඹට පැමිණෙන මඟීන්ගේ පහසුව උදෙසා විශේෂ බස් රථ කිහිපයක් ධාවනය කිරීමට සැළසුම් කර ඇති බව පී.එච්.ආර්.ටී චන්ද්‍රසිරි මහතා සඳහන් කළේය.

මේ අතර මඟී ජනතාවගේ පහසුව උදෙසා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ද විශේෂ දුම්රිය සේවාවන් ක්‍රිමයාත්මක කිරීමට සැළසුම් කර තිබේ.

කොළඹ කොටුව සිට බණ්ඩාරවෙල දක්වාත් මුහුදුබඩ දුම්රිය මාර්ගයේත්, උතුරු දුම්රිය මාර්ගයේත් විශේෂ දුම්රිය කිහිපයක් අද සහ හෙට යන දෙදින තුළ ධාවනය කිරීමට සැළසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කෙසේවෙතත් පෞද්ගලික බස් රථ ධාවනය යථා තත්ත්වයට පත් කළ හැක්කේ ලබන බදාදා දිනයේ සිට බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ අද සහ හෙට යන දෙදින තුළ පෞද්ගලික බස් රථ ධාවනයේ අඩුවක් පැවතිය හැකි බවයි.