වන අලි ගම් වැදිලා නිවාස 2කට අලාභ හානි කරලා

වන අලි ගම් වැදිලා නිවාස 2කට අලාභ හානි කරලා

April 16, 2018   02:02 pm



සුරීයවැව, මහගල්ලෑව ප්‍රදේශයට සහ මහවැව ප්‍රදේශයට වන අලි පිරිසක් කඩා වැදී  නිවාස දෙකකට අලාභ හානි කළ ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

මහවැව ප්‍රදේශයේදී මෙලස වන අලින් කඩාවැදී ඇත්තේ පසුගිය කාලයේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ මඟ පෙන්වීම යටතේ ඉදිකර ඇති නිවාසයකට බව අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේය. 

ප්‍රදේශවාසීන් පවසන ආකාරයට ප්‍රදේශයේ ආරක්ෂාවන අයුරින් අලි වැටක් ඉදිකර තිබුනද එම අලි වැටද ක්‍රියා විරහිත කළ ඇති බවයි.

මේ ගම්මාන නිතර වන අලි තර්ජන පවතින ගම්මාන වන අතර ගම්වාසීන් විසින් ප්‍රදේශය භාර වනජීවී කාර්යාලයට පැමිණිලි කළද වනජීවී නිලධාරීන්ගේද කිසිදු අවධානයක් ලක් නොවන බව ගම්වාසීන් වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර සුරීයවැව, අන්දර, වල්සපුගල ප්‍රදේශවාසීන් සැම දිනකම  රත්‍රී කාලය තුළ  වන අලීන් පැමිණෙන අලි මංකඩවල් අවහිර කරමින් ගිනිමැල ගසාගෙන තම ගම්මානය ආරක්ෂා කරන බව  ප්‍රදේශවාසින් පවසයි.

තවද වල්සපුගල ප්‍රෙද්ශවාසීන්ද තවමත් රැය පහන් කරන්නේ ගස්වල අටවාගත් පැලවල වන අතර ඔවුන් පත්ව ඇති තත්ත්වට තවමත් බලධාරීන් විසඳුම් ලබාදී නොමැති බව ගම්වාසීන් පවසයි.