ගොවි පවුල් 500ක් පීඩාවට-සෙංගල්ඔය ව්‍යාපෘතිය කඩිනමින්

ගොවි පවුල් 500ක් පීඩාවට-සෙංගල්ඔය ව්‍යාපෘතිය කඩිනමින්

September 21, 2017   10:27 am



ආණමඩුව - පල්ලම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි සෙංගල්ඔය අමුණ ගංවතුරට හසුව කැඞී යාම හේතුවෙන් ගොවි පවුල් 500 ක් පමණ මහත් පීඩාවට පත්ව සිටියි.

දැදුරුඔය හරස් කරමින් ඉදිකර ඇති මෙම අමුණේ වම් හා දකුණු ඉවුරු කැඞී ගොස් ඇති අතර ඇලේ පතුළද පළල් වී තිබේ.

මේ හේතුවෙන් හැරවුම් ඇළ මාර්ගය හරහා ජලය ගලා නොයෑමේ තත්ත්වයක් උද්ගතව තිබේ.

මේ තත්ත්වය තුළ පුරන්ව ගොස් ඇති කුඹුරු ඉඩම් ඇතුළු ගොවි බිම් ප‍්‍රමාණය අක්කර දහස් ගණනකි.

මෙම තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරමින් සෙංගල්ඔය සංවර්ධන ව්‍යාපෘතිය කඩිනම් කිරීමට  පියවර ගෙන තිබේ.

 වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සැළසුම් අනුව කි‍්‍රයාත්මකවන මෙම ව්‍යාපෘතියේ මෙහෙයවීම් කටයුතු සිදු කරන්නේ වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශයයි.

සෙංගල්ඔය හරස් කරමින් අමුණක් බැද හරස් ඇළ මාර්ගය හරහා කිලෝමීටර් 10 ක් දුරට ජලය ගෙන යාමට සැළසුම් කර තිබේ.

එමෙන්ම දැදුරුඔය අමුණ බැදීම ඇතුළු සමස්ත ව්‍යාපෘතිය වෙනුවෙන් වැය කරන මුදල රුපියල් මිලියන 1000 ට ආසන්නය.

ව්‍යපෘතියට අදාළව ව්‍යාපෘති කාර්යාලයක් ස්ථාපිත කිරීමටද පියවර ගෙන තිබේ.

සෙංගල්ඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ලබන මාසයේදී ආරම්භ කිරීමට නියමිත බව වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කළේය.