නල්ලූර් වෙඩි තැබීම-අපක්ෂපාතී විමර්ශනයක් අවශ්‍යයි

නල්ලූර් වෙඩි තැබීම-අපක්ෂපාතී විමර්ශනයක් අවශ්‍යයි

July 24, 2017   09:46 pm



යාපනය මහාධිකරණ විනිසුරුවරයාගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියාගේ මරණය සම්බන්ධ විමර්ශන අපක්ෂපාතීව හා කඩිනමින් සිදු කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වීරකැටියේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් මේ බව සඳහන් කළේය. 

එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ ,

"මේ සිද්ධිය සම්බන්ධයෙන් සිද්ධියට මුහුණ දුන් විනිසුරුවරයා සහ අනෙක් පොලිස් නිලධාරිය කියනදේට සම්පූර්ණයෙන් වෙනස් දෙයක් තමයි පොලිස් මූලස්ථානය කියන්නේ. කොළඹින් කියන්නේ. බීමත් පුද්ගලයෙක් මේ පොලිස් නිලධාරියා ළඟට ගිහින් ගිනිඅවිය උදුරලා අරන් වෙඩි තිබ්බයි කියලා. මේ දෙකේ හරි එක මොකක්ද කියලා දන්නේ නැහැ. කොහොම වුණත් අපිට විනිසුරු කියන එක පිළිගන්නත් ඕනේ.පොලීසිය කියන දේත් සළකා බලන්න ඕනේ. 

කොහොම වුණත් මේකෙ භයානක තත්ත්වය තමයි පොලිස් නිලධාරියෙකුට වෙඩි තියලා මරන්න තරම් අද රටේ නීතිය දුර්වල වෙලාද කියලා. රටේ පාලනය දුර්වල වෙලාද කියලා.කොළඹත් පරීක්ෂණ කරන්න ගිය පොලිස් නිලධාරීන් මැරුණා. හැබැයි යාපනයේ වෙනකොට ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. කොළඹ පාතාලය. හැබැයි යාපනයේ පාතාලයට වඩා යම් දරුණු දෙයක් සිද්ධවෙමින් පවතිනවා කියලා අපිට කියන්න පුළුවන්. එදා එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සංවිධානය ආරම්භ කරන්න කලින් මේ වගේ සිදුවීම් තමයි වුණේ. ඉතින් රජය මේ වෙලාවේ මීට වඩා ගැඹුරට මේ ගැන හිතන්න ඕනේ." යනුවෙන් ඒ මහතා කියා සිටියේය.