කොට්ටාව ඝාතනය- සැකකරු රිමාන්ඩ්

කොට්ටාව ඝාතනය- සැකකරු රිමාන්ඩ්

June 25, 2017   04:58 pm



කොට්ටාව හොරණ මාර්ගයේ නිවසක් තුළ දී තරුණියක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

හෝමාගම වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියංකා මද්දුමහේවා පටබැඳිගේ මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු ලබන මස 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව සඳහන්වේ.

සැකකරු මාතර හක්මන ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණයෙකු බව පොලීසිය සඳහන් කළේය.

පසුගිය 22 වැනිදා පස්වරුවේ තියුණු ආයුධයකින් පහරදී 26 හැවිරිදි අදාළ තරුණිය ඝාතනය කර තිබු අතර සිද්ධියට අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

 කෙසේවෙතත් සැකකරු ඊයේ(24) පෙරවරුවේ නීතීඥවරයෙකු මාර්ගයෙන් කොට්ටාව පොලීසියට බාරවී තිබේ.

එහිදි අදාළ ඝාතනය සම්බන්ධයෙන් ඔහු විසින් පාපොච්චාරණයක් ද සිදුකර ඇති බව සඳහන්වේ.

තමා සහ එම තරුණිය අතර ප්‍රේම සම්බන්ධයක් පැවති බවත් දෙදෙනාගේම කැමැත්ත මත මීට ටික කාලයකට පෙර එය නතර කෙරුණු බවත් සැකකරු ප්‍රකාශ කර තිබේ.

 ඉන් අනතුරුව තමා මාතර හක්මන ප්‍රදේශයේ වෙනත් තරුණියක සමග ප්‍රේම සබදතාවක් ඇති කරගත් අතර එම සබදතාවයට ඝාතනයට ලක්වු තරුණිය වරින් වර බාධා සිදුකළ බව සැකකරු  ප්‍රකාශ කර ඇත.

 මේ හේතුවෙන් තමාගේ දෙවන ප්‍රේම සම්බන්ධතාව ද බිද වැටුණු බවත් ඉන් හටගත් කලකිරීම හා කෝපය මත අදාළ ඝාතනය සිදුකළ බවට සැකකරු පාපොච්චාරණය කර තිබේ.