2017 වසරේ පළමු මැතිවරණය ගැන රාජිත හෙළි කරයි

2017 වසරේ පළමු මැතිවරණය ගැන රාජිත හෙළි කරයි

April 25, 2017   12:54 pm

වත්මන් රජය 2017 වසරේ මුහුණ දෙන පළමු මැතිවරණය ජනමත විචාරණය බව සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

නව ව්‍යවස්ථාව සඳහා වන ජනමත විචාරණය එලෙස පැවැත්වීමට නියමිත බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

පාර්ලිමේන්තුවෙන් එය සම්මත වීමෙන් අනතුරුව ජනමත විචාරණයකට ලක් කරන බව පවසන රාජිත සේනාරත්න අමාත්‍යවරයා නව ව්‍යවස්ථාව සකස් කිරීම සඳහා මේ වන විට කමිටු පත් කිරීම සහ ජනතාව දැනුවත් කිරීම ආරම්භ කර ඇති බව ද කියා සිටියේ ය.

ඒ අනුව කඩිනමින් ව්‍යවස්ථාවක් සකස් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී රාජිත සේනාරත්න අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

ජනමත විචාරණයෙන් අනතුරුව පළාත් සභා මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය පවත්වන බව ද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.

සියලුම පළාත් සභා මැතිවරණ එකම දිනයකදී ද සියලූම පළාත් පාලන මැතිවරණය එකම දිනයකදී ද පැවැත්වීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බව ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

මේ අතර  රජයේ මුදල් අවභාවිත කරමින් සෞඛ්‍යය අමාත්‍යවරයා සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ජනමාධ්‍ය ඔස්සේ සයිටම් හිතවාදී වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සිදුකල චෝදනාවට ද රාජිත සේනාරත්න අමාත්‍යවරයා ප්‍රතිචාර දක්වා තිබේ.

එහිදී රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට පත් කිරීමට සහ ජනතාවට දැනගැනීමට හැකි වන සේ මුදල් භාවිත කිරීමේ වරදක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

පසුගිය රජයේ බලධාරීන් රජයේ මුදල් අවභාවිත කරන විට වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කිසිවක් ප්‍රකාශ නොකළේ කුමන හේතුවක් මතද යන්න ඔවුන් රටට හෙළි කළ යුතු බව ද අමාත්‍යවරයා මෙහිදි වැඩි දුරටත් පවසා තිබේ.