ත්‍රිපෝෂ ටොන් 25ක් මාස දෙකක් පුරා කොට උඩ!

ත්‍රිපෝෂ ටොන් 25ක් මාස දෙකක් පුරා කොට උඩ!

December 5, 2016   12:36 pm



සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් දිවයිනේ ගැබිණි මව්වරුන්ට හා අඩු බර ළමුන්ට නොමිලේ ලබාදෙන ත්‍රිපෝෂ ටොන් විසිපහක් මාස දෙකක් තිස්සේ දුම්රිය භාණ්ඩ ප්‍රවාහන පෙට්ටි දෙකක් මත තැනින් තැන දුම්රිය ස්ථානවල තිබෙන බව දුම්රිය සේවකයන් පවසයි.

සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පාලනය වන රාජගිරිය ත්‍රිපෝෂ කර්මාන්ත ශාලවෙන් කොළඹ කොටුවේ සිට බදුල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා කාර්යාලය වෙත භාරදීම සඳහා ඔක්තෝබර් මස 03 වන දින මෙම ත්‍රිපෝෂ ටොන් 25 දුම්රිය දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබේ.

එම ත්‍රිපෝෂ තොගය රැගත් දුම්රිය භාණ්ඩ ප්‍රවාහන පෙට්ටි දෙක මේ වන විට කඩින් කඩ  දුම්රිය මඟින් ප්‍රවාහනය කර කොටගල දුම්රිය ස්ථානයේ සතියක පමණ කාලයක් ගාල්කර තිබේ.

ත්‍රිපෝෂ නිෂ්පාදනය කළ දින සිට මාස තුනක කාලයක් කල් ඉකුත් වන දිනය සඳහන් කර ඇතත් ඊට දින පහළොවකට ප්‍රථම එම ත්‍රිපෝෂ පැකට් අදාළ ගැබිණි මව්වරුන්ට සහ අඩු බර ළමුන්ට ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරී කාර්‍යාලය  හා ඇතැම් ප්‍රාදේශීය රෝහල් හරහා බෙදාහැරිය යුතු බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් පැවසීය.

කොළඹ සිට මෙම ත්‍රිපෝෂ ලොරි මඟින් ප්‍රවාහනය කිරිමේදී විශාල පිරිවැයක් දැරීමට සිදුවන නිසා දුර පළාත්වලට ත්‍රිපෝෂ ප්‍රවාහනය කිරීම දුම්රිය දෙපාර්තමේන්තුවට භාරදී ඇති බවත් එය ප්‍රවාහනය කිරීමේදී දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විශාල ප්‍රමාදයක් සිදුවන බවත් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් පෙන්වාදෙනු ලබයි.

කොටගල දුම්රිය ස්ථානයේ ත්‍රිපෝෂ සහිත, ගාල්කර තිබෙන දුම්රිය භාණ්ඩ ප්‍රවාහන පෙට්ටි පිළිබඳව දුම්රිය ස්ථානාධිපතිවරයාගෙන් කළ විමසීමකදී භාණ්ඩ ප්‍රවාහන දුම්රිය එන්ජින් නොමැති නිසා මෙම ත්‍රිපෝෂ සහිත  දුම්රිය භාණ්ඩ ප්‍රවහාන පෙට්ටි දෙක සතියක පමණ කාලයක් මෙම දුම්රිය ස්ථානයේ තිබෙන බව ඔහු පවසා සිටියේය.

දුම්රිය එන්ජිමක් ලද විගසම භාණ්ඩ ප්‍රවාහන දුම්රියක මෙම ත්‍රිපෝෂ තොගය ප්‍රවාහනය කිරීමට කටයුතු කරන බව කොටගල දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



ඡායා රූ - රංජිත් රාජපක්ෂ