උසාවිය අදත් නිහඬයි!

උසාවිය අදත් නිහඬයි!

October 20, 2016   01:25 pm


ප්‍රවීණ සිනමාවේදී ප්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්ෂණය කරන ලද"උසාවිය නිහඬයි" චිත්‍රපටය සම්බන්ධයෙන් පනවා ඇති වාරණ නියෝගය ඉවත්කරන්නේද නැද්ද යන වග හෙට දිනයේ ප්‍රකාශයට පත්කරන බව කොළඹ දිසා විනිසුරු එම්.ඒ ගුණවර්ධන මහතා විසින් අද(20) නියෝග කර තිබේ.

මෙම චිත්‍රපටය මහජන ප්‍රදර්ශනයට දින සූදානම් කර තිබියදී හිටපු විනිසුරුවරයෙකු වන ලෙනින් රත්නායක විසින් මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමෙන් තමාට මෙන්ම මෙරට අධිකරන පද්ධතියට අපහාසයක් වන බව පවසා චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම වළකාලීමේ අතුරු තහනම් නියෝගයක් ලබාගන්නා ලදී.

එම අතුරු තහනම් නියෝගය ඊයේ(19)වන දින දක්වා ක්‍රියාත්මකව පැවති අතර ඒ පිළිබඳ තීන්දුව ඊයේ දිනයේ ප්‍රකාශයට පත්කරන බව කීවද එය අද(20)දිනය දක්වා කල් තැබිණි.

කෙසේ වුවද අදාළ නඩුව අද(20)දිනයේ යළි කැඳවූ අවස්ථාවේදීද දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ දිසා විනිසුරුවරයා අදාළ තීන්දුව හෙට දිනයේ ප්‍රකාශ කරන බව දැනුම් දී තිබේ.

මහව මහේස්ත්‍රාත්වරයා ලෙස සේවය කළ ලෙනින් රත්නායක විසින් ඒ වන විට අධිකරණයේ විභාගවෙමින් පැවති නඩුවක සැකකරුවෙකුගේ බිරිඳ ගම්පොල ප්‍රදේශයේ තානායමකට කැඳවා එහිදී දූෂණයට ලක් කළ බවටත්,පසුව තම නිල කාමරය තුළදීද වෙනත් ස්ත්‍රීයක දූෂණය කළ බවටත් චෝදනා එල්ලවී තිබේ.

 ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා විසින් රාවය පුවත්පතට කරන ලද හෙළිදරව්වකින් අනතුරුව ''නොනිමි අරගලය"යන මැයෙන් හා "පෑන අහිංසකද?"යන මැයෙන් ප්‍රකාශයට පත් කළ කෘති ද්විත්වයෙන්ම මෙම ‍විනිසුරුවරයාගේ අපරාධ ක්‍රියාව හෙළිදරව් කර ඇත.

ප්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්ෂණය කරන ලද"උසාවිය නිහඬයි"චිත්‍රපටයට පාදක කරගෙන ඇත්තේද, මෙම හිටපු විනිසුරු ලෙනින් රත්නායක විසින් නීතිමය බලය පදනම් කරගනිමින් සිදුකරන ලද අපරාධයයි.