ගම්මන්පිල අත්අඩංගුවේ!

ගම්මන්පිල අත්අඩංගුවේ!

June 18, 2016   09:57 am

පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් තමන් අත්අඩංගුවට ගත් බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

නුගේගොඩ, පාගොඩ පිහිටි සිය කාර්යාලයේදී තමන් අත්අඩංගුවට ගත් බවත්, මේවන විට තමන් විශේෂ විමර්ශන ඒකකය වෙත ගෙන යමින් සිටින බවත්, ඒ මහතා අද දෙරණට පැවසීය.

ඕස්ට්‍රේලියානු  ව්‍යාපාරිකයෙකු වන බ්‍රයන් ෂැඩික් නැමැත්තාට අයත් රුපියල් මිලියන 110ක් වටිනා කොටස් ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් භාවිතා කරමින්  උදය ගම්මන්පිල මහතා විසින් විකුණා ඇති බවට බ්‍රයන් ෂැඩික් මහතාගේ ඇටර්නි බලපත්‍ර හිමිකරු බව කියන ලසිත පෙරේරා මහතා ‍චෝදනා කර තිබිණ.

මෙම චෝදනාවට අදාළව පසුගිය කාලයේදී උදය ගම්මන්පිල මහතාගෙන් ප්‍රශ්න කිරීම් ද සිදුකරන ලදී.

පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ ඒකකයේ අධ්‍යක්ෂ මෙවන් සිල්වා මහතා පැවසුවේ අදාළ චෝදනාවට අදාළව ඒ මහතා අත්අඩංගුවට ගත් බවයි.

ඒ අනූව සැකකරු අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවද ඒ මහතා කීවේය.