ඒකාබද්ධ විපක්ෂය නීතියට පටහැණියි - නිමල් බෝපගෙන් විශේෂ නිවේදනයක්

ඒකාබද්ධ විපක්ෂය නීතියට පටහැණියි - නිමල් බෝපගෙන් විශේෂ නිවේදනයක්

April 28, 2016   04:56 pm



 
ආණ්ඩු පක්ෂය නියෝජනය කරන්නා වූ ප්‍රධාන දේශපාලන පක්ෂයක කිහිප දෙනෙකු "ඒකාබද්ධ විපක්ෂය" නමින් කටයුතු කිරීම නීතියට, සදාචාරයට මෙන්ම මාධ්‍ය වෘත්තිකයින්ගේ ආචාර ධර්මවලට පටහැණි බව ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නීතිඥ නිමල් බෝපගේ මහතා පෙන්වාදෙයි.

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය හා විපක්ෂය කුමක්දැයි පැහැදිලිව තිබියදීත්, කථානායකවරයා ද මේ ගැන දැනුවත් කර තිබියදීත් එසේ කිහිප දෙනෙකු එක්ව  ඒකාබද්ධ විපක්ෂය ලෙස පෙනී සිටිමින් සිදුකරන කතා සඳහා ජනමාධ්‍ය තුළ ලබාදෙන පූර්වාදර්ශය වැරදි බවද ඒ මහතා කියයි.

මාධ්‍යවෙත නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙන අතර එහි වැඩිදුරටත් සඳහන් වන්නේ දැන හෝ නොදන මාධ්‍යවේදීන්ද "එකාබද්ධ විපක්ෂය" නමින් ප්‍රචාරය කිරීම නීතිය ඉදිරියේ ප්‍රතිබන්ධනය වීමට ද ඉඩ ඇති බවයි.

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ නිමල් බොපගේ මහතා සියලු මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනය වැඩිදුරටත් පහත පරිදිය.

"උතුම් වූ මාධ්‍ය නිදහස අවභාවිත කිරීමට ඉඩ නොතබමු!


යහපාලනය මත පදනම්වූ වත්මන් රජයේ මාධ්‍ය ප්‍රතිපත්තිය අනුව කිසිදු වාරණයකින් තොරව මෙරට මාධ්‍ය නිදහස රිසි සේ දළු ලා වැඩෙන්නට ඉඩදී තිබියදී නීතියට, සදාචාරයට හා ජනමාධ්‍ය කලාවේ වෘත්තිය ආචාරධර්මවලටද පටහැනිව යම් යම් පෞද්ගලික අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා එය ඉතා සූක‍ෂම ලෙස අවභාවිතා කිරීමක් පිළිබඳව මා වෙත වාර්තා වී ඇති බැවින් ඒ පිළිබඳ ඔබගේ ගෞරවනීය අවධානය යොමුකරවමි.

වත්මන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පකක්ෂය හා විපක්ෂය කුමක්ද යන්න ඉතා පැහැදිලිව අර්ථ නිරූපණය කර තිබියදී, එකී විපක්ෂයට අයත් විපක්ෂ නායකවරයා නියෝජනය කරන දේශපාලන පක්ෂයේ හෝ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා නියෝජනය කරන දේශපාලන පක්ෂයේ කිසිදු සම්බන්ධතාවයකින්ද තොරව ආණ්ඩු පක්ෂය නියෝජනය කරන්නාවු එක් ප්‍රධාන දේශපාලන පක්ෂයකට අයත් මන්ත්‍රිවරුන් කිහිපදෙනෙකු එක්ව "ඒකාබද්ධ විපක්ෂය" නමින් කිසියම් සංවිධානාත්මක දේශපාලන ප්‍රචාරක කටයුත්තක නිරත වී ඇති බවත්, ඇතැම් මාධ්‍ය ආයතන හා ඇතැම් මාධ්‍යවේදීන් කිසිදු වග විභාගයකින් තොරව එය ප්‍රවර්ධනය කිරීම සඳහා අනුබල දෙමින් සිටින බවත් එකි වාර්තාවල සඳහන් වේ.

වත්මන් යහපාලන රජය බලයට පත් වී ගෙවී ගිය පළමු වසර තුළදීම මාධ්‍ය නිදහස පිළිබඳ ජාත්‍යන්තර දර්ශකයේ පියවර 24 ක් ඉදිරියට රැගෙන එමින් මෙරට මාධ්‍ය නිදහස තවදුරටත් සීඝ්‍රයෙන් පුළුල් කරදීම වත්මන් රජයේ මාධ්‍ය ප්‍රතිපත්තිය වී තිබියදී එකී උතුම් වූ මාධ්‍ය නිදහස ඝෘජුවම අවභාවිත කරමින් ජනතාව නොමඟ යවන්නා වු පද භාවිතයක් සඳහා මාධ්‍ය දායකත්වය ලබාදීම ඉහත කී පරිදි නීතියට, සදාචාරයට මෙන්ම වෘත්තීය අචාරධර්මවලටද පටහැනිය.

තවද මෙහි පවත්නා දෝෂසහගත භාවය පිළිබඳව පාර්ලිමේන්තුවේ ගරු කතානායකතුමා විසින්ද දැඩිව අවධාරණය කර ඇති බව ඉතා හොඳින් දන්නා පළපුරුදු, කීර්තිමත්, පරිණත මාධ්‍යවේදීන් වන ඔබ, මෙවැනි අවභාවිතයන් ක්‍රියාවට නැංවීම සඳහා  දායක වීමෙන් ඔබගේ වෘත්තීය ගරුත්වයට සිදුකර ගන්නා හානියද සුළු පටු නොවේ.

එපමණක්ද නොව ඔබ විසින් දැන හෝ නොදැන මෙබඳු අවභාවිතයකට ඉඩදීම හෝ එය ප්‍රවර්ධනය කිරීම සඳහා දායකවීම තුළින් අනවශ්‍ය, අහිතකර හා නීතිවිරෝධී පූර්වාදර්ශයක් සමාජගත වීම වැළැක්විය නොහැකි අතර එමගින්  ඔබ නීතිය ඉදිරියේ ප්‍රතිබන්ධනය වීමටද ඉඩ ඇත. එහි වඩාත් අහිතකර ප්‍රතිඵලය වන්නේ ඉදිරියේදී විවිධ පුද්ගලයින් විසින් මෙවැනි මාධ්‍ය අවභාවිතයන් ඔස්සේ තම පටු අරමුණු මුදුන් පමුණුවා ගැනීමේ ප්‍රවණතාවයක් නිර්මාණය වීමය.

එබැවින් ඉතාමත් සංවේදී කාරණයක් වන උතුම් වු මාධ්‍ය නිදහසට අබමල් රේණුවක තරම් හෝ හානියක් නොවන පරිදි එය තව තවත් පුළුල් කිරීමේ උදාර අරමුණින් මෙවැනි අවභාවිතයන් නිශ්ක්‍රීය කිරීමේ තීන්දුවට එළඹිම සඳහා තම හෘද සාක්ෂිය පමණක්ම විනිශ්චයාසනාරූඪ කරවා කටයුතු කරන මෙන් මෙරට සමස්ත පොදු ජනතාවට තොරතුරු වාර්තා කිරීමේ ඒකායන අධිෂ්ඨානයෙන් යුක්තව ඉතා ගෞරවයෙන් ඉල්ලමි."