කටුනායකදී ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට

කටුනායකදී ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට

April 28, 2024   05:46 pm

විදෙස් ගමන් තහනමක් පනවා ඇති ව්‍යාපාරිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර ව්‍යාපාරිකයා ව්‍යාජ ගමන් බලපත්‍රයකින් තායිලන්තය බලා පිටත්ව යාමට උත්සහ කළ අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි වියේ පසුවන ව්‍යාපාරිකයෙකි.

අද දෙරණ ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ අද අලුයම තායි ගුවන් සේවයේ ටී.ජී. - 308 දරන ගුවන් යානයට පිවිසීමට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේ ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අදාළ ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන ඇති බවය.

කූඨ ලෙස ලියකියවිලි සකස් කර පුද්ගලයෙකු ඉතාලිය වෙත යැවීමට උත්සාහ කිරීමේ සිද්ධියකට මෙම ව්‍යාපාරිකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අතර, එහිදී  ඔහුට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවා තිබුණි.