විධායක ජනාධිපති ධූරයේ බලතල කප්පාදු වෙන්නේ මෙහෙමයි?

විධායක ජනාධිපති ධූරයේ බලතල කප්පාදු වෙන්නේ මෙහෙමයි?

February 27, 2015   04:24 pm


නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවන්හි අන්තර්ගත වන යෝජනා අතර ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5ක් වන අතර හෙතෙම බලතල ක්‍රියාවට නැංවීමේදී අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක විය යුතු බවට යෝජනා වි ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

වාර්තා වන අන්දමට සංශෝධිත ව්‍යවස්ථාමය යෝජනාවන්හි පහත කරුණු අන්තර්ගත වනු ඇත.


එම යෝජනාවන්හි දැක්වෙන අන්දමට ජනාධිපති ධූරය දරන තැනැත්තාගේ ධූර කාලය වසර 5ක් වන අතර  රාජ්‍යයේ ප්‍රධානියාද,විධායකයේ ප්‍රධානියාද සන්න්ද්ධ සේවාවන්හි ප්‍රධාන අණදෙන්නා ද වේ.


එසේ වුවද ජනාධිපතිවරයා ස්වකීය බලතල ක්‍රියාවට නැංවීමේදී අගමැතිවරයාගේ හෝ අගමැති විසින් එකී කාර්ය පවරා ඇති ඇමතිවරයෙකුගේ උපදෙස් මත ක්‍රියා කළ යුතුය. එසේම ජනාධිපතිවරයාට පළමු වරට අගමැතිවරයා විසින් දෙන ලද යම් උපදෙසක් පිළිබඳ තමා සෑහීමට පත් නොවන්නේනම් ඒ පිළිබඳ නැවත සලකා බලන්නැයි අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලීමක් කළ හැකිය. එසේ වුවද දෙවෙනි වරටද අගමැතිවරයා විසින් එය
නැවත සලකා බලන ලදැයි පවසා එකී ඉල්ලීම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටියහොත් එය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා බැඳී සිටියි.


යම් හෙයකින් ජනාධිපති ධූරය දරණ තැනැත්තා ධූරයෙන් පහ කිරීමට නම් මෙතෙක් පැවති විධිවිධාන වලට අනුව දෝෂාභියෝගයක් ගෙනවිත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කොට එය ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කොට එකී චෝදනා තහවුරු කොට ඔහු/ඇය ඉවත් කළ යුතු බවට වන යෝජනාවක් නැවත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කළ යුතුය.


නව ව්‍යවස්ථා සංශෝධන යෝජනාවන්ට අනුව දෝෂාභියෝගයකින් ජනාධිපතිවරයා ඉවත් කිරීමේ විධිවිධාන අහෝසි කෙරෙන අතර ඒ වෙනුවට විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කිරීමෙන් ජනාධිපති ධූරය දරන තැනැත්තා ඉවත් කළ හැකිය.


නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවන්ට අනුව නියෝජ්‍ය අග්‍රාමාත්‍ය තනතුරක්ද ස්ථාපිත කෙරෙන අතර ඒ සඳහා ජනාධිපතිවරයා විසින් පත් කිරීම් කරනු ලබන්නේ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි අග්‍රාමාත්‍යවරයා විසින් නම් කරනු ලබන තැනැත්තෙකි.


කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව 30ට නොවැඩි විය යුතු අතර රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යධූර සංඛ්‍යාව 40 ට නොවැඩි විය යුතුය. එසේ වුවද පාර්ලිමේන්තු මහ මැතිවරණයකදී බහුතර මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් දිනාගන්නා පක්ෂය හා ඊළඟට දෙවන ස්ථානයෙහිලා බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගන්නා පක්ෂය එක්ව 'ජාතික එකමුතු ආණ්ඩුවක්'ස්ථාපිත කරනු ලැබුවහොත් එකී අමාත්‍ය ධූර සංඛ්‍යාව 45+55 දක්වා වැඩි කළ හැකිය.


පාර්ලිමේන්තුවේ නිල කාලය සුපුරුදු ලෙසම වසර 5ක් වන අතර එකී කාලයේ පළමු වසර 4 යි මාස 06ක කාලයක් තුළ කිසියම් හෝ මොහොතක පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර කැමැත්තකින් ඒ සඳහා යෝජනාවක් සම්මත විය යුතුය.


එසේම ජාතික විගණකාධිපති කොමිසම,ජාතික ප්‍රතිසම්පාදන කොමිසම ස්වාධීන ආයතන බවට පත්කොට ස්වාධීන කොමිෂන් සභා ලැයිස්තුවට ඇතුළත් කිරීමටද නව ව්‍යවස්ථා සංශෝධන තුළින් යෝජනා කර තිබේ.


මීට අමතරව ශ්‍රේෂ්ඨාධිකරණයට හා අභියාචනාධිකරණයට පත්කිරීම් සිදුකිරීමේදී අගවිනිසුරු,අධිකරණ අමාත්‍ය,නීතිපති හා ලංකා නීතිඥ සංගමයේ සභාපතිගේ අදහස් විමසා එකී කැමැත්ත අනුව සිදුකිරීමටද යෝජනා වී ඇති බව සඳහන්ය.


'හදිසි පනත් කෙටුම්පත්'යන්නෙන් කිසිවක් නොපවත්නා අතර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන සෑම පනත් කෙටුම්පතක්ම දින 14 ට පෙරාතුව ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂිතය.අවසන් වශයෙන් පනත් කෙටුම්පත්'නීතිමය විධිවිධාන'බවට පත්වනුයේ ජනාධිපතිවරයා විසින් අනුමැතිය ලබාදී සහතික කළ පසුය.


19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නීතියක් ලෙස ක්‍රියාත්මක වන දින සිට දැනට පවත්නා රාජ්‍ය සේවා කොමිෂන් සභාව,ජාතික පොලිස් කොමිසම,මානව හිමිකම් කොමිසම,අල්ලස් හෝ දූෂණ චෝදනා ‍‍විමර්ශන කොමිසම,ෆිනෑන්ස් කොමිසම යන කොමිෂන් සභා බලරහිත වීමට නියමිතය.


මෙවැනි යෝජනා ඇතුළත් ලියවිල්ලක් මේවන විට සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායකයින්ට ලබාදී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.