බියගම විලේජ් අධිපති ඝාතනය - යාපනය එස්.එස්.පීත් අත්අඩංගුවට

බියගම විලේජ් අධිපති ඝාතනය - යාපනය එස්.එස්.පීත් අත්අඩංගුවට

February 27, 2015   03:28 pm



බියගම වි‍ලේජ් අධිපති කෝටිපති ව්‍යාපාරික බර්නාඩ් ජයතිලක මහතා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව යාපනය ප්‍රදේශය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා හා ඇල්පිටිය කොට්ඨාසයේ පොලිස් පරීක්ෂකවරයෙකු රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බියගම වි‍ලේජ් අධිපතිවරයා කපා කොටා මරා දමා තිබුණේ 2012 පෙබරවාරි 20දාය.

ඊට ආධාර අනුබලදීම හා එය වසන් කිරීම සම්බන්ධයෙන් සැකපිට මෙම පොලිස් නිලධාරීන‍් දෙදෙනා අද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.

මෙම ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස සැකපිට රහස් පොලීසිය විසින් බියගම විලේජ් අධිපති බර්නාඩ් ජයරත්න මහතාගේ පුත්‍රයා වන සුරංග ජයරත්න නැමැත්තාව අත්අඩංගුවට ගෙන තිබුණි.

පියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහු රහස් පොලීසියට පාපෝච්චාරණයක්ද කළ බව වාර්තා විය.

මීට තෙවසරකට පෙර සිදුවූ එම ඝාතනය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට පත්වූ අතර ඔහු  රහස් පොලිස් නිලධාරීන් හමුවේ හෙළිදරව් කළ තොරතුරු වලට අනුව ඝාතනයට ලක්වූ ව්‍යාපාරිකයාගේ පුත් සුරංග ජයරත්න සහ ඔහුගේ මිතුරෙකු වන ඩබ්ලිව්. පී සුදත් වික්‍රම නැමැති අය 2013.08.19 රාත්‍රි අත්අඩංගුවට ‍‍ගෙන තිබිණ.

සුදත් වික්‍රම විශේෂ කාර්ය බළකායේ හිටපු රියදුරෙකු බවද පැවසිණ.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත් වූ පොලිසිය වළදමා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක්ද සොයාගෙන තිබූ බව සඳහන්ය.

එම පුපුරණ ද්‍රව්‍ය බියගම විලේජ් හෝටලයේ හිමිකරුගේ පුත්‍රයා විසින් පොලිස් විශේෂ කාර්ය බළකායේ සේවය කළ සිය මිතුරාගෙන් ගෙන්වාගෙන ඇති බව අනාවරණය වී ඇත.

ඒ අනූව අදාළ පුපුරණ ද්‍රව්‍ය සැපයීමේ චෝදනා මත එවකට පොලිස් විශේෂ කාර්ය බලකායේ සේවය කළ මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

සැකකරුවන් පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.

බර්නාඩ් ජයරත්න මහතා ඝාතනයට ලක් වුයේ ඒ මහතාට අයත් දොම්පේ ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාරික ස්ථානයකට 2012.02.20දා පෙරවරුවේ යමින් සිටියදීය.

හඳුනා නොගත් පුද්ගලයන් දෙදෙනෙක් පැමිණ බර්නාඩ් මහතා කපා කොටා ඝාතනය කර පළාගොස් තිබූ අතර එම ඝාතනය කුලී කොන්ත්‍රාත්තුවක් මත සිදුවූ එකක් බවට ප්‍රචාරය විය.

කෙසේ හෝ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ට එරෙහිව රහස් පොලීසිය විසින් පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීය.