මාලකට අදත් ඇප නෑ - අනිත් 6ත් රිමාන්ඩ්

මාලකට අදත් ඇප නෑ - අනිත් 6ත් රිමාන්ඩ්

November 18, 2014   10:55 am

බම්බලපිටියේ රාත්‍රී සමාජ ශාලාවකදී බ්‍රිතාන්‍ය යුවළකට පහරදුන් බවට චෝදනා ලැබ දැනට රිමාන්ඩ් කර සිටින ඇමති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වාත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔහුගේ යහළුවන් සිව්දෙනෙකුද, ඇමති මර්වින්ගේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකුද ලබන 25 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට කොළඹ අ‍තිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් සහබ්දීන් මහතා අද (18) නියෝග කර තිබේ.

අද හඳුනා ගැනීමේ පෙරට්ටුවක් පැවැත්වීමට නියමිතව තිබියදී බ්‍රිතාන්‍ය ජාතික යුවළ නොපැමිණ තිබිණ.

ඔවුන්‍ දෙදෙනාගෙන් එක් අයෙකු අසනීප වී රෝහල්ගතව සිටීම ඊට හේතුව යැයි රහස් පොලීසිය අධිකරණයට දැනුම්දී ඇත.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ලබන 25 වැනිදාට ඔවුන්ට ද අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කළ අතර එදිනට ද ඔවුන් හඳුනා ගැනීමේ පෙරට්ටුවට නොපැමිණියහොත් එය අවලංගු කරන බවද දැනුම්දුන් බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාලකගේ යහළුවන් සිව්දෙනා පෙරේදාත්, මර්වින් ඇමතිවරයාගේ ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන් දෙදෙනෙකු ඊයේත් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.



පවත්නා නීතිමය විධිවිධාන හේතුවෙන් අධිකරණ තීන්දුවලට අදාළ මෙම ප්‍රවෘත්තියට Comments පළකිරීම අත්හිටුවා ඇති බව කරුණාවෙන් සලකන්න.