පොලීසියට අල්ලස් දෙන්න ගිය කාන්තාවක් අත්අඩංගුවට

පොලීසියට අල්ලස් දෙන්න ගිය කාන්තාවක් අත්අඩංගුවට

April 30, 2024   05:35 pm

හෙරොයින් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් තම සැමියා මුදාගැනීමට කළුතර දකුණ දූෂණ මර්දන අංශ ස්ථානාධිපතිවරයාට අල්ලස් ලබාදීමට තැත් කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

කළුතර දකුණ මූලස්ථාන පොලීසිය සඳහන් කළේ සැකකාරිය විසින් රුපියල් ලක්ෂ 03ක අල්ලස් මුදලක් ලබාදීමට තැත් කර ඇති බවය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර උතුර ප්‍රදේශයේ පදිංචි  කාන්තාවකි.

කළුතර දකුණ දූෂණ මර්ධන අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ටී ශ්‍රී රංගා විසින් ඇයගේ සැමියාව හෙරොයින් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන  කළුතර දකුණ පොලීසියට රැගෙන විත් තිබුණි.

සැකකරු කමිසයක් ගෙන්වා ගැනීම සඳහා බිරිඳට දුරකථන ඇමතුමක් ලබාගෙන ඇති අතර, විනාඩි 20කට පමණ පසුව බිරිඳ පොලීසියට පැමිණ ඇතැයිද පොලීසිය කීය.

එහිදී ඇය, පොලීසියේ දූෂණ මර්දන අංශයේදී එහි ස්ථානාධිපතිවරයාට රුපියල් ලක්ෂ 03ක මුදලක් ලබාදී හෙරොයින් නඩුවෙන් සැකකරුව නිදහස් කරදෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

එහිදී දූෂණ මර්දන අංශ ස්ථානාධිපතිවරයා මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාව දැනුවත් කිරීමෙන් අනතුරුව සැකකාරියව අත්අඩංගුවට ගෙන තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මකය.