අන්තර්ජාලයෙන් තරුණියන් අපයෝජනය කළ තරුණයා මාට්ටු

අන්තර්ජාලයෙන් තරුණියන් අපයෝජනය කළ තරුණයා මාට්ටු

September 23, 2014   01:04 pm

ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය හරහා තරුණියන් අපයෝජනයට ලක් කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිලි කිහිපයක් පිළිබඳ සිදුකළ විමර්ශනයකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික තරුණියක් මීට මාස කිහිපයකට පෙර ලංකාවට පැමිණ ඇති අතර ඇයගේ නිරුවත් පින්තූර තමා සතු බවට සැකකරු විසින් ෆේස්බුක් ගිණුම හරහා පණිවිඩයක් යොමුකර ඇති බව සඳහන්ය.

තමා හමුවීමට පැමිණෙන ලෙස දැනුම් දී ඇති සැකකරු එසේ නොමැති නම් එම පින්තූර අන්තර්ජාලයට මුදා හරින බවට අදාළ තරුණියට දැනුම් දී ඇත.

මේ ආකාරයට සැකකරු විසින් තවත් තරුණියකට පණිවිඩයක් යොමුකර ඇති බව වාර්තා වේ.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විමර්ශනයකදී ෆේස්බුක් ගිණුම හිමි සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු පානදුර ප්‍රදේශයේ පදිංචි විසි දෙහැවිරිදි තරුණයෙක් බව සඳහන්ය.

සැකකරු පරිගණකය සහ ජංගම දුරකථනය භාවිතයෙන් ෆේස්බුක් වෙබ් අඩවිය හරහා තරුණියන් අපයෝජනයට ලක් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේය.

එමෙන්ම කොළඹ ප්‍රධාන බාලිකා විද්‍යාලවල ශිෂ්‍යාවන් ඔහු විසින් ෆේස්බුක් වෙබ් අඩවිය හරහා අපයෝජනය කරන දර්ශන සැකකරු සතු දත්ත රඳවනයක තිබු බව ද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 29 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.