මේක ආණ්ඩුවට හොඳ සංඥාවක් - ආණ්ඩුවේ සියලු උත්සාහයන් අසාර්ථක කරලා

මේක ආණ්ඩුවට හොඳ සංඥාවක් - ආණ්ඩුවේ සියලු උත්සාහයන් අසාර්ථක කරලා

September 21, 2014   05:33 pm

ඌව පළාතේ ජනතාව ආණ්ඩුවට ඉතා හොඳ සංඥාවක් ලබා දී තිබෙන බවත්, ආණ්ඩුවේ සියලූ උත්සාහයන් අසාර්ථක කර තිබෙන බවත් ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසා‍නායක මහතා පවසයි.

අද(21)  කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කර සිටියේය.

ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක මහතා එම අවස්ථාවේදී පහත පරිදි වැඩිදුරටත් අදහස් දැක්විය.

මෙම ඌව පළාත් සභා මැතිවරණය කැඳෙව්වේම ආණ්ඩුවට තිබුණ නිශ්චිත අරමුණක් වෙනුවෙනි. ඒ තමයි, මෙම පළාත් සභා මැතිවරණය භාවිතා කොට මීළඟ රාජපක්‍ෂ පාලනයේ බල යුගයක ඇරඹීමට අවශ්‍ය වටපිටාව නිර්මාණය කර ගැනීමයි. ආණ්ඩුව සැළසුම්කරමින් තිබෙනවා 2017 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය 2015 මුල් භාගයට ගේන්න. ඒ සඳහා දේශපාලන මැන බැලීමක් තමයි ඌව මැතිවරණයේදී කළේ.

ආණ්ඩුව 2009 පළාත් සභා මැතිවරණයේදී වැඩිම ප‍්‍රතිඵලයක් ලබාගත්තේ ඌවෙන්. මොණරාගල 81%ක්, බදුල්ල 67%ක් ඌව පළාත 72%ක් වශයෙන් ඡන්ද ප‍්‍රතිශතයක් ලබාගත්තා. එම ප‍්‍රතිඵලය පදනම් කරගෙන මීළඟ ජනාධිපතිවරයට යාමට පෙර ඌව පළාතේ ජය තහවුරු කරගැනීම ආණ්ඩුවේ උත්සාහය වුවත් එය සම්පූර්ණයෙන්ම අසාර්ථක වෙලා තිබෙනවා.

මෙම මැතිවරණය සඳහා රාජ්‍ය දේපළ, රාජ්‍ය මාධ්‍ය, රාජ්‍ය උත්සව විශාල ලෙස යොදා ගත්තා. පළාත් සභාව විසුරුවා හැරීමට මාසයකට පමණ පෙර ඌව පළාත් සභාව සඳහා විශාල මුදලක් වෙන්කළා. ඒ වගේම අරක්කු බෝතලයේ සිට සිල් රෙද්ද දක්වා විශාල ලෙස භාණ්ඩ බෙදුවා. රාජ්‍ය මුදල් යොදාගෙන මොණරාගල සෑම පවුලකටම රුපියල් 2500 ගණනේ මැතිවරණය දින දක්වා දිවා රාතී‍්‍ර නොබලා බෙදාහැරියා.

මෙම පළාත් සභා මැතිවරණයේ මැර කි‍්‍රයා වැඩිම ඡන්දයක් බවට පත්වෙලා තිබෙනවා. මැතිවරණ නිරීක්‍ෂණ සංවිධානවලට 500කට අධික පැමිණිලි ප‍්‍රමාණයක් ලැබී තිබෙනවා. ඒ පැමිණිලි අතර පහරදීම්, වෙඩි තැබීම්, කාර්යාල ගිණි තැබීම්, ඡන්ද දායකයන් බිය වැද්දීම් ඇතුළත් වෙනවා. ජනාධිපතිවරයා සහභාගී වූ මහියංගණය, වැල්ලවාය, රැස්වීම් දෙක පමණයි එක්සත් ජනතා නිදහස් සන්ධානය සංවිධානය කළේ. අනෙක් සෑම රැස්වීමක්ම විවිධ රාජ්‍ය උත්සව, විවෘත කිරීම් බවට පත්වෙලා තිබුණා.

ඒවා සංවිධානය කළේ මුළුමනින්ම රජයේ මුදල්, රාජ්‍ය නිලධාරීන් යොදාගෙන. ඒ වගේම මැතිවරණ දිනයේදී පවා රාජ්‍ය මාධ්‍ය යොදාගෙන ඌව පිළිබඳ විශේෂ වැඩසටහන් ප‍්‍රචාරය කළා. වයඹ ඡන්දය ඉතහාසයට එක්වී තිබෙන්නේ ප‍්‍රචණ්ඩත්වය වැඩිම මැතිවරණය ලෙසයි. ඌව පළාත් සභා මැතිවරණය ඉතිහාසයට එක්වෙන්නේ වැඩියෙන්ම රාජ්‍ය දේපළ යොදාගත් මැතිවරණය ලෙසයි.

2009 ඌව පළාත් සභා මැතිවරණයේදී එ.ජ.නි.ස. මොණරාගල දිස්ති‍්‍රක්කය සඳහා ලබාගත් 81%ක ඡන්ද ප‍්‍රතිශතය මෙවර 58% දක්වා අඩුවී තිබෙනවා. එමෙන්ම 19,000කට ආසන්න ඡන්ද ප‍්‍රමාණයක් අහිමිකරගෙන තිබෙනවා. මොණරාගල දිස්ති‍්‍රක්කයේ ප‍්‍රධාන අපේක්‍ෂකයා වුණේ රාජපක්‍ෂ පවුලේ පුරුකක්. මොණරාගල දිස්ති‍්‍රක්කයේ ජනතාව ඡන්ද ප‍්‍රමාණය අඩුකරමින් එම පවුල් පාලනයට එරෙහිව ඉතා හොඳ පණිවුඩයක් ලබාදී තිබෙනවා. 2009 මැතිවරණයේදී එ.ජ.නි.ස. බදුල්ල දිස්ති‍්‍රක්කයෙන් ලබාගත් 67%ක ඡන්ද ප‍්‍රතිශතය මෙවර 47%දක්වා අඩුවී තිබෙනවා.

බදුල්ල දිස්ති‍්‍රක්කය තුළ 50,000කට වැඩි ඡන්ද ප‍්‍රමාණයක් ආණ්ඩුවට අහිමිවී තිබෙනවා. සම්පූර්ණ පළාතේ ප‍්‍රතිඵලය සළකා බැලූවොත් 2009දී 72% ක්ව තිබූ ප‍්‍රතිශතය මෙවර 51% දක්වා අඩුවී තිබෙනවා. 69,000ක ඡන්ද ප‍්‍රමාණයක් ආණ්ඩුවට අහිමිවී තිබෙනවා. මෙම ප‍්‍රතිඵලය සළකා බැලීමේදී පැහැදිළි වන කරුණ වන්නේ ඌව පළාතේ ජනතාව මේ ආණ්ඩුව පළවා හැරීමට සූදානම් බවට සංඥාවක් ලබාදී තිබීමයි.

සාමාන්‍යයෙන් පවතින ආණ්ඩුවට පළාත් සභා මැතිවරණයක් ඉතාම වාසි සහගතයි. බලය හොබවන පක්‍ෂය මැතිවරණයට මුහුණ දෙන්නේ දේශපාලන පක්‍ෂයක් ලෙස නොව ආණ්ඩුවක් ලෙසයි. පොලීසිය, රාජ්‍ය සේවකයින් ඇතුළු සියලූ පාර්ශ්ව මැතිවරණයට සම්බන්ධ වෙන්නේ පවතින ආණ්ඩුව යටතේයි. එවැනි වාසිසහගත තත්ත්වයක් ආණ්ඩුවට තිබියදී මෙම මැතිවරණයේදී ඡන්ද ප‍්‍රතිශතය 21%ක් අහිමිකරගෙන තිබෙනවා. මෙය ජාතික මැතිවරණකදී ආණ්ඩුව විශාල ලෙස කඩා වැටීමට ලක්විය හැකි දේශපාලන වටපිටාවකි. ඌව පළාතේ ජනතාව ඒ සඳහා ඉතා හොඳ සංඥාවක් දී තිබෙනවා. ආණ්ඩුවේ සියලූ උත්සාහයන් අසාර්ථක කර තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳ සලකා බැලූවොත් පසුගිය කාලය පුරා මැතිවරණ ක්ෂේත‍්‍රයේ තිබුණු පසුබෑම පරාජය කරමින් බස්නාහිර, දකුණ, මැතිවරණයේදී ඡන්ද ප‍්‍රමාණයත් ඡන්ද ප‍්‍රතිශතයත් මන්තී‍්‍රධූර ප‍්‍රමාණයත් වැඩිකරගැනීමට සමත් වුණා. එම මැතිවරණයෙදී ලබාගත් ජයග‍්‍රහණය තවදුරටත් ආරක්‍ෂා කර ගැනීමට අප සමත්වී තිබෙනවා. බදුල්ල දිස්ති‍්‍රක්කයේ 2009 ලබාගත් 9007 ඡන්ද ප‍්‍රමාණය මෙවර 20,625 දක්වාත් මොණරාගලදී 5,632 සිට 15,955 දක්වාත් වැඩිකරගැනීමට සමත්වී තිබෙනවා.

ඌව පළාත ලෙස ගත්කල 14,639ක්ව තිබූ ඡන්ද ප‍්‍රමාණය මෙවර 36,580 දක්වා වැඩිකර ගැනීමට සමත්වී තිබෙනවා. 2009 තිබුණු 2.53ක ඡන්ද ප‍්‍රතිශතය මෙවර 5.36 දක්වා වැඩිවී තිබෙනවා. එමෙන්ම මොණරාගලට නව මන්තී‍්‍ර ආසනයක් දිනා ගැනීමටත් බදුල්ලෙදී මන්ත‍්‍රීධූරය ආරක්‍ෂා කරගැනීමටත් අප සමත්වී තිබෙනවා.

එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ලෙස අප ඉතාම ශක්තිමත් මැතිවරණ ව්‍යාපාරයක් දියත් කළා. සෑම ගෙදරකටම ගොස් ජනතාව දැනුවත් කළා. ඌව පළාතේ ජනතාවට මේ රටට සිදුවෙමින් තිබෙන විනාශය පිළිබඳව කරුණු පැහැදිළි කළා. අනෙක් දේශපාලන පක්‍ෂවලට සාපේක්‍ෂව රැස්වීම් විශාල ප‍්‍රමාණයක් පැවැත්වූවා. අප විසින් ගෙන ගිය එම දේශපාලන පැහැදිලි කිරීම්වලට විශාල ජනතාවක් සවන් දුන් අතර අප වටා විශාල ජනතාවක් එකතු වෙමින් තිබෙනවා.

ඒ වගේම ජනතාව අතර සංවාදයක් ආරම්භ කිරීමට අප සමත්වී තිබෙනවා. එමෙන්ම අපේ නව වැඩපිළිවෙළි ජනතාව අතරට ගෙන ගියා. මෙවර මැතිවරණයෙන් ලද ප‍්‍රතිඵලයට එහා ගිය ප‍්‍රතිඵලයක් අප ලබාගැනීමට සමත් වුණා. අප බලාපොරොත්තු වෙන්නේ හුදු ආණ්ඩු පෙරළියක් හෝ හුදු නායකයින්ගෙ වෙනස්කිරීමක් නොවේ. ඉන් එහා ගිය සමාජ පරිවර්තනයක් සඳහායි අප දේශපාලනය මෙහෙයවමින් තිබෙන්නේ. පුළුල් සමාජ පරිවර්තනයක් සඳහා ගොඩනගන ලද අපේ පක්‍ෂය පාර්ලිමේන්තු මන්තී‍්‍රධූර මත, පළාත් සභා මන්තී‍්‍රධූර මත පමණක් රඳා පවතින්නේ නැහැ.

ඉන් එහා ගිය අභියෝගයක් අප හමුවේ තිබෙනවා. ආණ්ඩුව යොදාගන්නා ආකාරයේ විශාල මුදල් ප‍්‍රමාණයක් රාජ්‍ය දේපළ, රාජ්‍ය මාධ්‍ය, කෑම බීම, භාණ්ඩ බෙදාදීම්වලින් තොරව පක්‍ෂයක් ලෙස සාමාජිකයින්ගේ කැපවීමෙන් පරිත්‍යාගයෙන් කරන ලද කි‍්‍රයාදාමයකින් තමයි මෙම ප‍්‍රතිඵලය ලබාගෙන තිබෙන්නේ.

ඒ වගේම අපේ රටේ සමාජයේ මතය වෙනස් කරන තීරණාත්මක බලවේගයක් ලෙස රජයේ සේවකයින් පෙනී සිටිනවා. ඔවුන් විසින් භාවිතා කරන ලද තැපැල් ඡන්ද පමාණයෙන් වැඩි ප‍්‍රතිශතයක් ලබාගැනීමට මෙවර අප සමත්වී තිබෙනවා. මොණරාගල දිස්ති‍්‍රක්කයේ 11%ක පමණ ඡන්ද ප‍්‍රතිශතයකුත් බදුල්ල දිස්ති‍්‍රක්කයේ 10% ක පමණ ඡන්ද ප‍්‍රතිශතයකුත් තැපැල් ඡන්දවලින් අපට ලැබී තිබෙනවා.රාජ්‍ය සේවකයින්ට එරෙහිව ආණ්ඩුව විසින් ගෙනයන ලද තාඩන, පීඩනවලට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් කරන ලද අරගලයන්වල ප‍්‍රතිඵලයක් ලෙස මේ ආකාරයට රාජ්‍ය සේවකයින් අප වටා එකතු වෙමින් තිබෙනවා.

පසුගිය මැතිවරණයේදී ආණ්ඩුවට මන්ත‍්‍රීධූර 26ක් තිබුණා. ඒ කඳුරට ජනතා පෙරමුණේ මන්තී‍්‍රධූරයත් ආණ්ඩුව සමග එකතුවූ නිසා. මෙවර එම මන්තී‍්‍රධූර සංඛ්‍යාව 19ක් දක්වා මන්තී‍්‍රධූර 07කින් අඩුවෙලා තිබෙනවා. ආණ්ඩුව මොණරාගලට බදුල්ලෙන් මන්තී‍්‍රධූර 3ක් කැඳවනු ලැබුවා. 2009දී මොණරාගල මන්තී‍්‍රධූර 11ක් තිබියදී ආණ්ඩුව මන්තී‍්‍රධූර 9ක් ලබාගත්තත් මෙවර මන්තී‍්‍රධූර 14කින් ආණ්ඩුවට ලබාගත හැකිව තිබෙන්නේ මන්තී‍්‍රධූර 8ක් පමණයි. ඒ තරමට ආණ්ඩුව අසීරුතාවයට පත්වී තිබෙනවා.

අප දේශපාලන පක්‍ෂයක් ලෙස මේ රටේ තීරණාත්මක බලවේගයක් බවට පත්වී තිබෙනවා මෙවර මැතිවරණයේදී මුලූ දේශපාලන පිටිය පෙළගැසී තිබුණේ ජනතා විමුක්ති පෙරමුණ වටායි. ඒනිසා තමයි ආණ්ඩුව ජ.වි.පෙට විශාල ලෙස ප‍්‍රහාර එල්ල කළේ. ඒ නිසා අප ලබාගන්නා මන්තී‍්‍රධූරවලින් මැනිය නොහැකි තීරණාත්මක බලවේගයක් බවට ජ.වි.පෙ. පත්ව තිබෙනවා.