බණ්ඩාරවෙලදී මහ අනතුරක් කර පළාගිය රියදුරු පොලීසියට බාරවෙයි

බණ්ඩාරවෙලදී මහ අනතුරක් කර පළාගිය රියදුරු පොලීසියට බාරවෙයි

September 18, 2014   08:35 am

බණ්ඩාරවෙල නගරයේදී ඊයේ රාත්‍රී සිදුවූ අනතුරට සම්බන්ධ ඌව පළාත් සභා අ‍ෙප්ක්ෂක සෙන්දිල් තොණ්ඩමාන්ගේ වාහනය පැදවූ රියදුරා අද (18) උදෑසන බදුල්ල පොලීසියට බාරවී තිබේ.

ඊයේ රාත්‍රී බණ්ඩාරවෙල නගරයේදී තොණ්ඩමාන් රැගත් හමර් රිය මැතිවරණ ප්‍රචාරක කටයුත්තක නිරතව සිටි පිරිසක‍ගේ ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් 31 දෙනෙකු තුවාල ලැබීය.

ඔවුන්ගෙන් සිව්දෙනෙකු පොලීසියේ අය වන අතර තුවාල ලැබූ තොණ්ඩමාන් ජාතික රෝහලේත් සෙසු සියලු දෙනා ප්‍රතිකාර සඳහා බණ්ඩාරවෙල හා දියතලාව රෝහල්වලට ඇතුළත් කර තිබේ.

මෙම අනතුරත් සමග එහි රියදුරු පළාගොස් තිබූ බව පොලීසිය පැවසීය.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඌව පළාත් සභා අපේක්ෂක සෙන්දිල් තොණ්ඩමන් මහතා ඇතුළු පිරිසක් අනතුරට ලක්වීම අපරාධ ක්‍රියාවක් ද යන්න පිළිබඳව සොයාබැලීම සඳහා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

කෙසේ වෙතත් මෙය සිතාමතා සිදුකරන ලද අනතුරක් බව ලංකා කම්කරු කොංග්‍රසය චෝදනා කරයි.

සෙන්දිල් තොණ්ඩමන් මහතා අනතුරට පත් කිරීමේ අරමුණින් මෙය සිදුකරන්නට ඇති බව ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති, මධ්‍යම පළාත් සභා මන්ත්‍රී එස්.සත්‍යවේල් මහතා සඳහන් කළේය.