ඔට්ටු සූදුව වටලන්න ගිහින් ගැටුමක් - එස්.අයි ඇතුළු 2ක් රෝහලේ

ඔට්ටු සූදුව වටලන්න ගිහින් ගැටුමක් - එස්.අයි ඇතුළු 2ක් රෝහලේ

August 29, 2014   06:17 am

මුදල් ඔට්ටුවට සූදු ක්‍රීඩා කරමින් සිටි ස්ථානයක් වැටලීමට ගිය අවස්ථාවේදී ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ තවත් පුද්ගලයෙකු හලාවත මහා රෝහලට ඇතුළත් කර තිබේ.

අද (29)අලුයම හලාවත - මුන්නේෂ්වරම ප්‍රදේශයේදී මෙම ගැටුම හට ගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

හලාවත - මුන්නේෂ්වරම ප්‍රදේශයේ පවත්වා ගෙන යන මුදල් ඔට්ටුවට සූදු ක්‍රීඩාකරන ස්ථානයක් සම්බන්ධයෙන් වූ තොරතුරක් හලාවත පොලීසියට ලැබී ඇත.

ඒ අනුව ක්‍රියාත්මක වී ඇති පොලීසියේ නිලධාරීන් වැටලීම සදහා ගොස් ඇති අතර උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු පිරිසක් මෙම වැටලීමට සහභාගි වී තිබේ.

වැටලීම සිසු කරන විට ඇති වූ ගැටුමකදී තුවාල ලැබූ හලාවත පොලීසියට අනියුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂ දිල්රුක් යන අය සහ සූදු ක්‍රීඩාවේ නිරත වෙමින් සිටි එක් අයෙකු හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.

එම ස්ථානයේ සිටි සෙසු පිරිස පලාගොස් ඇති බව පොලීසිය කියයි.

හලාවත පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.