උපුල්ට දෙන්නෙක් දෙනවා - අනුර සේනානායක උසාවියට දන්වයි

උපුල්ට දෙන්නෙක් දෙනවා - අනුර සේනානායක උසාවියට දන්වයි

August 11, 2014   04:08 pm

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතාගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තාවකාලිකව ලබාදෙන බව නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

තම ආරක්ෂාව තහවුරු කිරීමට පොලීසිය කටයුතු නොකිරීම සම්බන්ධයෙන් උපුල් ජයසූරිය මහතා ඉදිරිපත් කළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ අද (11) කැඳවනු ලැබීය.

එහිදී නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා සඳහන් කළේ උපුල් ජයසූරිය මහතාගේ ආරක්ෂාව සැලසීම නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය මගින් විධිමත්ව සිදුකළ යුතු බවයි.

ආරක්ෂාවට යොදවන නිලධාරීන් පිළිබඳ දැනුවත් කළ යුතු බව උපුල් ජයසූරිය මහතාගේ නීතිඥයින් සඳහන් කළ අතර එය ජයසූරිය මහතාට රහසිගතව දැනුම් දෙන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතාගේ පසුපසින් ආ බව කියන සැකකරුවන් හඳුනාගැනීමට පොලීසියට මෙතෙක් හැකියාව ලැබී නොමැති බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේය.

නඩු විභාගය ලබන 25 වැනිදා යළි කැඳවීමට නියමිතය.