නන්ද මල්ලවාරච්චිට නොතීසි

නන්ද මල්ලවාරච්චිට නොතීසි

August 5, 2014   03:15 pm

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් නන්ද මල්ලවාරච්චි මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබේ.

ඒ අනුව ලේකම්වරයාට එළඹෙන සිකුරාදා දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කර ඇත.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ උපුල් ජයසූරිය මහතාට ජීවිත තර්ජන එල්ල වන බවට සිදුකළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් පොලීසිය බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු දන්වා තිබේ.

කෙසේ වෙතත් සභාපතිවරයාට ආරක්ෂාව ඉල්ලා තිබියදීත් ආරක්ෂාව ලබානොදීම සම්බන්ධයෙන් නීතීඥ සංගමය අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර ඇති බව සඳහන් වෙයි.

ඒ අනුව ඊයේ(04) දිනයේ දී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා බස්නාහිර පළාත බාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබේ.

ඒ අනුව අද(05)  දිනයේ දී ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙනුවෙන් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු පෙනී සිට ඇති බව වාර්තා වෙයි.

අදාළ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයා අධිකරණය හමුවේ පවසා ඇත්තේ යම් පුද්ගලයෙකුට පොලිස් ආරක්ෂාව අවශ්‍ය නම් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශ ලේකම්වරයා හරහා පොලිස්පතිවරයාට ඒ පිළිබඳව දැනුම්දිය යුතු බවයි.

ඒ අනුව අමාත්‍යාංශ ලේකම්වරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.