ආරක්ෂක සමුළුවට  සහභාගී නොවිය යුතුයි

ආරක්ෂක සමුළුවට සහභාගී නොවිය යුතුයි

July 29, 2014   04:11 pm

එළඹෙන මාසයේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව ඇති ආරක්ෂක සමුළුව සඳහා ඉන්දියානු ආරක්ෂක අංශ නිලධාරීන් සහභාගී කරවීම පිළිබඳව ඉන්දීය රජයගත් තීරණය වහාම ඉවත් කර ගන්නා ලෙස තමන් විසින් ඉල්ලා සිටින බව ඉන්දියාවේ එම්.ඩී.එම්.කේ. පක්ෂයේ මහලේකම් වයිකෝ මහතා පවසයි.

පසුගිය කාලයේදී ලංකාවේ සිදු වූ සිදුවීම් හේතුවෙන් ඉන්දියාවේ නිලධාරීන් මෙවැනි වූ සමුළුවකට සහභාගීවීම පිළිබඳව තමාට අදහාගත නොහැකි කරුණක් බව ඔහු ප්‍රකාශ කර ඇති බව ඉන්දියානු මාධ්‍ය පෙන්වා දෙයි

අදාළ සමුළුව සඳහා ඉන්දියාවේ ආරක්ෂක අංශ නිලධාරීන් මෙන්ම ඉන්දියාවේ බී.ජේ.පී පක්ෂයේ ලේකම් ශේෂාද්‍රී මහතා සහ එම පක්ෂයේ උසස් පුද්ගලයින් සහභාගී වීමට නියමිත බවට ප්‍රවෘත්ති වාර්තා මගින් තමාට දැන ගැනීමට ලැබුණු බව ඒ මහතා කියා තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුසලය විසින් ආරම්භ කර ඇති පරීක්ෂණයක් පැවැත්වෙන මේ වකවාණුව තුළ අදාළ සමුළුවට සහභාගී නොවිය යුතු බව හෙතෙම අවධාරණය කර ඇත.

අදාළ සමුළුව අගෝස්කු 18 වෙනි දින සිට 20 වෙනි දින දක්වා ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත බවද වාර්තා වෙයි.