ශ්‍රී  ලංකාව සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට සහය දෙන්නේ නෑ

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට සහය දෙන්නේ නෑ

July 12, 2014   04:27 pm

ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ සංවිධානය සිදු කරන විමර්ශනයට සහය ලබා නොදෙන බව ඉන්දියාව පවසයි.

ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන්නේ නම් එය ශ්‍රි ලංකා රජයේ සහයෝගයෙන් සිදුකළ යුතු බව ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක සයිඩ් අක්බරුඩින් මහතා සඳහන් කරයි.

දඬුවම් ලබාදිමේ අරමුණින් එවැනි විමර්ශනයක් සිදු නොකළ යුතු බව ඔහු පවසයි.

ඉන්දියාවේ නිල සංචාරයක නිරත වූ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පිරිස් මහතා ඊයේ(11) දිනයේ ඉන්දිය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය හමුවු අතර එහිදි ද මේ සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා වු බව ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දි ශ්‍රි ලංකාව එරෙහිව ඉදිරිපත් වූ යෝජනාවේ ඇතුළත් ඇතැම් වගන්ති සඳහා ඉන්දිය රජය විරුද්ධත්වය පළ කිරිම පිළිබඳව එහිදි ජී එල් පිරිස් අමාත්‍යවරයා ස්තූතිය පළ කර තිබේ.

ඉන්දු ලංකා ධීවර ගැටලුවට දීර්ඝ කාලීන විසඳුමක් ලබාදීම මෙන්ම ඉන්දිය රජයේ ආධාර යටතේ ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මක ව්‍යාපෘති වල ප්‍රගතිය සම්බන්ධයෙන් ද එම සාකච්ඡාවේ දි අවධානය යොමුවූ බව සඳහන් වෙයි.

එමෙන්ම ශ්‍රි ලංකාවේ සංචාරයක නිරත වන ලෙස මහාචාර්ය ජී.එල් පිරිස් අමාත්‍යවරයා විසින් සුෂ්මා ස්වරාජ් මහත්මියට ආරාධනයක් ද සිදුකර ඇති අතර එම ආරාධනය ඇය පිළිගෙන තිබේ.