සරණාගතයින් 153 දෙනාගේ යාත්‍රාව ගැන තවත් කතාවක්

සරණාගතයින් 153 දෙනාගේ යාත්‍රාව ගැන තවත් කතාවක්

July 8, 2014   02:19 pm

ශ්‍රී ලාංකික සරණාගතයින් 153 දෙනෙකු සහිත යාත්‍රාවක් තම මුහුදු සීමාවේදී බාරයට ගෙන නැතැයි ඔස්ට්‍රේලියානු රජය අවධාරණය කරයි.

ශ්‍රී ලාංකික සරණාගතයින් 41 දෙනෙකු ඔස්ට්‍රේලියානු රජය විසින් පෙරේදා ශ්‍රී ලංකා නාවික හමුදාවට බාරදීමෙන් අනතුරුව තවත් සරණාගතයින් 153 දෙනෙකු යළි හරවා යැවීම වළක්වමින් සිඩ්නි මහාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලදී.

ඒ සංක්‍රමණිකයින් වෙනුවෙන් මහාධිකරණයට ඉදිරිපත් වූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුවය.

එම නියෝගයත් සමග ඔස්ට්‍රේලියානු අධිකරණය හමුවේ කරුණු දක්වමින් එරට නීතිවේදීයෙකු බව පැවසෙන රොන් මොකල් නැමැත්තා පෙන්වාදී ඇත්තේ සරණාගතයින් සම්බන්ධයෙන් සංක්‍රමණික පනත යටතේ ක්‍රියාකළ යුතු බවයි.

මේ නිසා සංක්‍රමණිකයින්ගේ කැමැත්තෙන් තොරව ඔවුන් යළි හරවා නොයැවිය යුතු බවද හෙතෙම පවසා තිබේ.

කෙසේ වෙතත් සොලිසිටර් ජෙනරාල් ජස්ටින් ‍ග්ලෙසන් පවසා ඇත්තේ අදාළ යාත්‍රාව බාරයට ගෙන ඇත්තේ ඔස්ට්‍රේලියානු මුහුදු සීමාවට කිලෝමීටර් 19ක් ඈතින් බවයි.

මේ නිසා චෝදනා කළ යුත්තේ සංක්‍රමණික පනත යටතේ බැවින් මෙම චෝදනාව වලංගු නොවන බවද හෙතෙම සඳහන් කර ඇත.

එසේම පැය 72ක් තුළ සිදුකෙරෙන ලිඛිත දැනුම්දීමකින් තොරව සරණාගතයින් ශ්‍රී ලංකාවට බාරනොදෙන බවද හෙතෙම පවසා ඇත.‍

ශ්‍රී ලාංකික සරණාගතයින් 153 දෙනා සහිත යාත්‍රාව ඉන්දියාවේ පොන්ඩිචේරී සිට ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබියදී ක්‍රිස්මස් දූපත ආසන්නයේදී අනතුරට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය මගින් වාර්තා කෙරිණ.