සරණාගතයින් 153ක් හරවා යැවීම ඔස්ට්‍රේලියානු මහාධිකරණය වළකයි

සරණාගතයින් 153ක් හරවා යැවීම ඔස්ට්‍රේලියානු මහාධිකරණය වළකයි

July 7, 2014   04:18 pm

ශ්‍රී ලාංකික සරණාගතයින් 153 දෙනෙකු නැවත එරටට පිටත්කර හැරීම වළක්වමින් ඔස්ට්‍රේලියානු මහාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ සරණාගතභාවය අපේක්ෂාවෙන් ඉන්දියාවේ පොන්ඩිචෙරි සිට ලාංකික සරණාගතයින් 153 දෙනෙකු රැගත් යාත්‍රාවක් පසුගිය මස ඔස්ට්‍රේලියානු ක්‍රිස්මස් දූපත වෙත ළඟාවෙමින් තිබියදී අනතුරකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන ලදී.

එම වාර්තා පළව ටික දිනක් ගතව යද්දී ලාංකික සරණාගතයින් 41 දෙනෙකු ශ්‍රී ලංකාව නාවික හමුදාවට බාරදුන් බව ඔස්ට්‍රේලියානු ආගමන කටයුතු අමාත්‍යවරයා ඊයේ පවසා තිබුණි.

මේ අතර ඔහු ඒ පිළිබඳ අදහස් දක්වමින් කියා තිබුණේ තවත් සරණාගතයින් එරට නොමැති බවයි.

කෙසේ වුවද සරණාගතයින් වෙනුවෙන් සිඩ්නි මහාධිකරණයට අද ඉදිරිපත් වූ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසු විනිසුරු සුසාන් ක්‍රෙනන් විසින් ලාංකික සරණාගතයින් යළි හරවා යැවීම නතර කරමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

සරණාගතයින් වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෝජ් නිව්හවුස් පවසා ඇත්තේ මෙම සරණාගතයින් ඉන්දියාවේ පොන්ඩිචෙරි වලින් ඉකුත් මස පිටත්වූ පසු ඔස්ට්‍රේලියානු බලධාරීන් සමග අදහස් හුවමාරු කරගනිමින් ආරක්ෂාව ඉල්ලා ඇති බවත් යනුවෙනි.

ඒ අනූව ඔවුන් යළි හරවා යැවීම වළක්වා එම නියෝගය ලබාදී ඇති අතර මේ සම්බන්ධ වැඩිදුර විභාගය හෙට පස්වරුව දක්වා කල්තබා ඇති බවද එම වාර්තාවල දැක්වෙයි.