මෙරට සරණාගතයින් 153ක් රැගත් යාත්‍රාවක් අනතුරකට පත්වෙයි

මෙරට සරණාගතයින් 153ක් රැගත් යාත්‍රාවක් අනතුරකට පත්වෙයි

June 28, 2014   11:03 am

ශ්‍රි ලාංකික සරණාගතයින් පිරිසක් රැගත් යාත්‍රාවක් ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දූපත ආසන්න මුහුදු ප්‍රදේශයේ දි අනතුරට ලක්ව තිබේ.

ක්‍රිස්මස් දූපතට කිලෝමිටර් 250ක් පමණ දුරකින් යුත් මුහුදු ප්‍ර දේශයේ දි මොවුන් මෙලෙස අනතුරට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙම සරණාගතයින් ඉන්දියාවේ සරණාගත කදවුරු වල සිට නීති විරෝධි මාර්ගයෙන් ඕස්ට්‍රේලියාව බලා ගොස් ඇති බව වාර්තා වෙයි.

අදාළ යාත්‍රාවේ තුළ සරණාගතයින් 153 දෙනෙකු සිටින අතර ඉන් 32දෙනෙකු කාන්තාවන් වන අතර 37 දෙනෙකු කුඩා දරුවන් වන බව සඳහන් වෙයි.

තමන් සරණාගතයින් බවත්, තමන් ඉන්දියාවේ සිට ඕස්ට්‍රේලියාවට පැමිණෙමින් සිටින අතරතුර යාත්‍රාව අනතුරට ලක්වු බවත්, එම යාත්‍රාවේ සිටින පුද්ගලයෙකු ඕස්ට්‍රේලියානු මාධ්‍ය වෙත දුරකථන ඇමතුමක් ලබාදෙමින් පවසා තිබේ.

ඉන්දියාවේ සරණාගත කඳවුරු වල රැඳී සිටිමට හැකියාවක් නොමැති බැවින් තමා ඇතුළු පිරිස ඕස්ට්‍රේලියාවට පැමිණි බව ඔහු පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වන ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් පවසා ඇත්තේ සරණාගතයින් පිළිබඳව දැනට සිදුකෙරෙන නීති රාමුවට අනුව කටයුතු කරන බවයි.

පසුගිය කාල සීමාව තුළ නිති විරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් ඕසට්‍රේලියාව බලා ගමන් කරන සරණාගතයින්ගේ සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් සරණාගතයින් සම්බන්ධයෙන් දැඩි නීති ක්‍රියාත්ම කිරිමට ඕස්ට්‍රේලියානු රජය පියවර ගන්නා ලදී.