කෝප් මැතිසබයට

කෝප් මැතිසබයට

July 23, 2013   01:27 pm

රාජ්‍ය ආයතන 244 ක විමර්ශන කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ අවසන් වාර්තාව හෙවත් කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

මීට ටික වේලාවකට පෙර එය කෝප් කමිටුවේ සභාපති ජ්‍යේෂ්ඨ අමාත්‍ය ඩිව්.ගුණසේකර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව අප වාර්තාකරු පවසයි.

රාජ්‍ය ආයතන 244 ක විමර්ශන කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ එම කමිටුව විසින් විමර්ශනය කළ ආයතන 32ක ගැන වාර්තාවක් පසුගිය වසරේ ඔක්තෝබර් මස 25දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි.

ඉතිරි ආයතන 212ක වාර්තාවක් මෙලෙස අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර එය පිටු 310ක වාර්තාවක් බව සඳහන්ය.

ඒ අනුව මාස 15ක කාලයක් තිස්සේ සිදුකළ විමර්ශනවලින් අනතුරුව මෙම වාර්තාව සකස් කර තිබේ.

එම වාර්තාවට අනුව මෙරට ඇති රජයේ වාණිජ ආයතන 72න් 16ක් අලාභ ලබන ආයතන බවට තහවුරු වී ඇති බව ඩිව්.ගුණසේකර අමාත්‍යවරයා පැවසීය.

එම ආයතන අතරට ලංකා විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව,ශ්‍රී ලංකන් ගුවන් සමාගම, මිහින් එයාර් සමාගම ඇතුළත්ය.

මෙහිදී රජයේ වාණිජ ආයතන 56 ක් ලාභ ලබන ආයතන ලෙස හඳුනාගෙන ඇත.

අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කෝප් වාර්තාව පිළිබඳ මසක් ඇතුළත පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට බලාපොරොත්තු වන බව ඩිව්.ගුණසේකර අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.