විභාග දෙපාර්තමේන්තුවේ කාර්යසාධනය සහ විගණන වාර්තා කෝපා කමිටුවේ අවධානයට

විභාග දෙපාර්තමේන්තුවේ කාර්යසාධනය සහ විගණන වාර්තා කෝපා කමිටුවේ අවධානයට

July 16, 2026   03:10 pm

විභාග දෙපාර්තමේන්තුවේ 2021 සිට 2024 දක්වා වර්ෂවලට අදාළ විගණකාධිපති වාර්තා සහ එහි වර්තමාන කාර්යසාධනය පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) දීර්ඝ ලෙස අවධානය යොමු වී තිබේ.  

ඒ, එම කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

මෙහිදී විභාග දෙපාර්තමේන්තුවේ විභාග පැවැත්වීම හා ප්‍රතිඵල නිකුත් කිරීමේ ක්‍රියාවලිය, තොරතුරු තාක්ෂණ පද්ධති භාවිතය, මානව සම්පත් කළමනාකරණය, ප්‍රසම්පාදන ක්‍රියාවලිය, වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම, විගණකාධිපතිවරයාගේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව කාරක සභාවේ අවධානය යොමු ව ඇත.

එමෙන්ම, විභාග දෙපාර්තමේන්තුවේ වර්තමාන කාර්යසාධනය සහ සේවා කාර්යක්ෂමතාව තවදුරටත් ඉහළ නැංවීම සඳහා ගෙන ඇති පියවර මෙන්ම ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන් පිළිබඳව ද නිලධාරීහු කාරක සභාව දැනුවත් කළහ.

විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණයන්ට අදාළව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කළ කාරක සභාව, ඉතිරි නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.