කැනඩාව ලංකාවට බාල්දි පෙරළීමේ උත්සාහය අත්නොහරියි!

කැනඩාව ලංකාවට බාල්දි පෙරළීමේ උත්සාහය අත්නොහරියි!

April 28, 2013   09:42 am

පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව ශ්‍රි ලංකාවේ පැවැත්වීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කැනඩාව යළිත් සිය විරෝධය පළ කර තිබේ.

පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල් විසින් පිළිගෙන ඇති ස්වාධීනත්වය, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, නීතියේ පාලනය සහ යහපත් රාජ්‍ය පාලනය යන වටිනාකම් තහවුරු කිරීමට ශ්‍රී ලංකාව සමත් වී නොමැති බව එරට විදේශ කටයුතු අමාත්‍ය ජෝන් බෙයාර්ඩ් ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාව දෙමළ ජනතාව සමඟ සංහිදියාව සඳහා ප්‍රයෝජනවත් කිසිදු උත්සාහයක් ගෙන නොමැති බව ඔහු ප්‍රකාශ කරයි.

මීට පෙරත් පොදුරාජ්‍ය මණ්ඩලයීය සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම සම්බන්ධයෙන් කැනඩාව දිගින් දිගටම විරෝධය පළ කරන ලදී.

කෙසේ වෙතත් පසුගිය සිකුරාදා රැස් වු එම මණ්ඩලයේ රටවල අමාත්‍ය ක්‍රියාකාරී කමිටුව විසින් ද එකී ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම තහවුරු කර තිබේ.

කැනඩාවේ විරෝධය සම්බන්ධයෙන් අදහස් පළ කරන ශ්‍රි ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ ඔවුන් මෙරට මානව හිමිකම් සම්බන්ධයෙන් පක්ෂපාතී සහ අසාධාරණ ස්ථාවරයක සිටින බවයි.

මේ අතර පොදුරාජ්‍ය මණ්ඩලයීය සමුළුව ලංකාවේ පැවැත්වීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය බොබ් කාර්ද මෙම සමුළුවට එරට සහභාගිත්වය තහවුරු කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු ශ්‍රී ලංකාවේ සමුළුව වර්ජනය කළ යුතු බවට කළ ප්‍රකාශයකට පිළිතුරු වශයෙන් ඔහු මේ බව පවසා තිබුණි.