ක්‍රියාකාරී කණ්ඩායම් සැසියේදී ශ්‍රී ලංකාවට එරෙහිව කිසිදු හඬක් නෑ

ක්‍රියාකාරී කණ්ඩායම් සැසියේදී ශ්‍රී ලංකාවට එරෙහිව කිසිදු හඬක් නෑ

April 26, 2013   07:43 pm

පොදුරාජ්‍ය මණ්ඩලයීය අමාත්‍ය ක්‍රියාකාරී කණ්ඩායම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව කිසිදු හඬක් නොනැඟුණු බව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතා පවසයි.

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරදී පැවති පොදුරාජ්‍ය මණ්ඩලයීය අමාත්‍ය ක්‍රියාකාරී කණ්ඩායම් සැසිවාරය අද (26) පස්වරුවේ නිමාවට පත්විය.

මෙම සැසිවාරයේදී විරෝධතා එල්ලවනු ඇති බවට ඇතැමුන් අදහස් පළ කළද එවැන්නක් සිදුනොවුණු බවත්, එබැවින් නොවැම්බර් මාසයේදී කොළඹදී පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලයීය සමුළුවට කිසිදු බලපෑමක් එල්ල නොවුණු බවත් නෝනිස් මහතා පෙන්වා දුන්නේය.

මීට පෙරාතුව පසුගිය පෙබරවාරි මාසයේදී විදේශ කටයුතු අමාත්‍ය, මහාචාර්ය ජී.එල් පීරිස් මහතා සහ පොදුරාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් කමලේස් ශර්මා අතරද මේ පිළිබඳ සාකච්ඡා පැවතියද අදාළ සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම සම්බන්ධයෙන් විරෝධයක් එල්ල නොවුණු බව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා සිහිපත් ක‍ළේය.

කැනඩාව වැනි රටක් ඊයේ දිනයේද ශ්‍රී ලංකාවට එරෙහිව විවිධ ප්‍රකාශ සිදුකරමින් පැවති තත්ත්වයක් තුළ පවා පොදුරාජ්‍ය මණ්ඩලයීය අමාත්‍ය ක්‍රියාකාරී කණ්ඩායම් සැසිවාරය ශ්‍රී ලංකාවට එරෙහිව හඬක් නොනැඟීම නිමාවට පත්වීම සතුටට කරුණක් බව ඔහු සඳහන් කළේය.

මෙම සැසිවාරයේදී කිසිදු බලපෑමක් එල්ල නොවූයේ එල්.ටී.ටී.ඊ හිතවාදී ඩයස්පෝරාව ශ්‍රී ලංකාවට එරෙහිව ගෙනයනු ලබන අසත්‍ය ප්‍රචාරයන්ට රාජ්‍ය තාන්ත්‍රික ලෙස සාර්ථකව මුහුණදීම නිසා බවද ක්‍රිස් නෝනිස් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මීළඟ පොදු රාජ්‍ය මණ්ඩලයීය සැසිවාරය නොවැම්බර් මස 15,16,17 යන තෙදින තුළ කොළඹදී පැවැත්වීමට නියමිතය.