ඔස්ට්‍රේලියානු විදේශ ඇමතිගෙන් හිටපු අගමැතිවරයෙකුට කනේ පහරක්

ඔස්ට්‍රේලියානු විදේශ ඇමතිගෙන් හිටපු අගමැතිවරයෙකුට කනේ පහරක්

April 27, 2013   12:23 pm

මානව හිමිකම් කඩවීම ගැන චෝදනා එල්ල වුවද ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලයීය සමුළුවට සහභාගී වන බව ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය බොබ්කාර් පවසයි.

විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

ඔහු පවසා ඇත්තේ පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව ඔස්ට්‍රේලියාව වර්ජනය නොකරන බවයි.

පොදුරාජ්‍ය මණ්ඩලයීය සමුළුවට එහි සාමාජික සෙසු රටවල් ද සහභාගි වන බැවින් එය වර්ජනය කිරීම ප්‍රතිඵලදායක කරුණක් නොවන බව ඔහු පවසා ඇත.

එහිදී ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ උතුරේ සිදුවන ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳව තමන් දැඩි නිරීක්ෂණයකින් පසුවන අතර එම කටයුතු නිසියාකාරයෙන් සිදුකිරීමට බලපෑමක් ද එල්ල කරන බවයි.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සමුළුවට සහභාගි නොවන ලෙසට ඔස්ට්‍රේලියානු හිටපු අග‍්‍රාමාත්‍යවරයෙකු වන මැල්කොල්ම් ෆ්‍රෙසර් ඇතුළු පිරිසක් ඔස්ට්‍රේලියානු රජයෙන් කර ඇති ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් ඔහු මේ බව පවසා ඇත.

හිටපු අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ සමුළුවට සහභාගී නොවීමට කැනඩාව ගෙන ඇති තීරණය සමග එක්වන ලෙසයි.

කෙසේ වුවද පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව ලබන නොවැම්බර් මාසයේ දී මෙරට දී පැවැත්වීමට නියමිතය.

මේ අතර පොදුරාජ්‍ය මණ්ඩලයීය අමාත්‍ය ක්‍රියාකාරී කමිටු රැස්වීම ඊයේ එංගලන්තයේ මෙල්බරෝ හවුස්හිදී පැවැත්වුණි.

එහිදී පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම් කමලේෂ් ෂර්මා මහතා ප්‍රකාශ කර ඇත්තේ පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව මීට පෙර සැලසුම් කළ පරිදි ශ්‍රී ලංකාවේ පැවැත්වීම සහතික බවයි.

එම සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට එරෙහිව කිසිදු රාජ්‍යයක් නිල වශයෙන් විරුද්ධත්වය ප්‍රකාශ කර නොමැති බව ද කමලේෂ් ෂර්මා මහතා පවසා තිබේ.