එ.ජා.සං හි තොරතුරු තාක්ෂණ මුල් පුටුවක් යළිත් ශ්‍රී ලංකාවට

September 7, 2012   01:14 pm

එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සාමාජීය කොමිසමේ තොරතුරු තාක්ෂණ කමිටුවේ සභාපතිත්වය නැවත වරක් ශ්‍රී ලංකාවට හිමිවෙයි.

කොළඹ පැවැති ආසියානු ශාන්තිකර කලාපයේ තොරතුරු තාක්ෂණ සමාජ ගොඩනැගිමේ සමුළුවේදී ඒ සඳහා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ නම යෝජනා වු අතර එය සියලු සාමාජික ර‍ටවල ඒකඡන්දයෙන් සම්මත විය.

එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජීය කොමිසමේ තොරතුරු තාක්ෂණ කමිටුවේ සභාපතිත්වය අඛණ්ඩව ශ්‍රී ලංකාවට ලැබුණු තෙවැනි අවස්ථාව මෙයයි.

ශ්‍රී ලංකාව තොරතුරු තාක්ෂාණ ක්ෂේත්‍රයේ ලබා ඇති ප්‍රගතිය සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා එම ක්ෂේත්‍රයට ලබා දී ඇති ප්‍රායෝගික දේශපාලන නායකත්වය මෙවැනි ගෞරවයක් ශ්‍රී ලංකාවට ලැබීමට හේතු වූ බව එම ධූරය බාර ගනිමින් ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ප්‍රකාශ කළේය.

විශේෂයෙන් "ඉ-ශ්‍රී ලංකා" වැඩසටහන යටතේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ක්‍රියාවට නැංවු ව්‍යාපෘති මෙරට සෑම ක්ෂේත්‍රකම විප්ලවීය වෙනසක් ඇතිකර ඇතැයි ජනාධිපති ලේකම්තුමා පෙන්වා දුන්නේය.

කලාපීය වශයෙන් තොරතුරු තාක්ෂණය රට රටවල ජාතික සංවර්ධනය සඳහා භාවිතා කළ යුතු අන්දම ගැන කරුණු අධ්‍යයනය කිරීමට නව ධූරය උපරිම ලෙස භාවිතා කිරීමේ හැකියාවද ඔහු පෙන්වා දුන්නේය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාලන කාලය තුළ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නව පිබිදිමක් ඇතිවීම ජාත්‍යන්තර පිළිගත් එක් වැදගත් අවස්ථාවක් ලෙස මෙය සඳහන් කළ හැකි යැයි මෙරට තොරතුරු තාක්ෂණ වෘතිතියවේදිහු පෙන්වා දෙති.

සාමාජික රටවල් 25 ක සහභාගිත්වයෙන් කොළඹ පැවති මෙම සමුළුවේ ප්‍රධාන දේශනය සිදුකළේ නීතිපති ජනාධිපති නීතිඥ පාලිත ප්‍රනාන්දු මහතාය. තොරතුරු තාක්ෂණය භාවිතා කරමින් ර‍ටවල් අතර නීති පද්ධති සහයෝගයෙන් පවත්වා ගෙන යෑමේ හැකියාව නීතිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ පරිගණක හා ජංගම දුරකතන භාවිතය ඉහළ යෑමත් සමග ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් නව නීති-රීති පද්ධතියක් පිහිටු‍වීමේ අවශ්‍යලතාවද නීතිපතිතුමා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය, විදේශ කටයුතු අමාත්‍යංශය සහ එ.ජා. ආර්ථික හා සාමාජීය කොමිසම මෙම දෙදින සමුළුව සංවිධානය කර තිබිණි.