කිසිදු කොන්දේසියක් නෑ-ඉදිරි දින දෙක තුන ඇතුළත ෆොන්සේකා නිදහස් වේවි

May 16, 2012   06:51 pm

ඉදිරි දින දෙක තුන ඇතුළත සරත් ෆොන්සේකා මහතා නිදහස් වෙනු ඇතැයි තමන් විශ්වාසය පළ කරන බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා පවසයි.

තමන් ඒ සම්බන්ධයෙන් අද උදෑසනද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කළ බව හෙතෙම අද දෙරණ කළ විමසීමකට පිළිතුරු දෙමින් කියා සිටියේය.

තාමත් සුළු සුළු ගැටලු කිහිපයක් පමණක් විසඳා ගැනීමට පවත්නා බවත්,එකී සුළු ගැටලු කිහිපය ඉදිරි දින දෙක තුළ විසඳාගැනීමට හැකිවෙතැයි තමන් අපේක්ෂා කරන බව ඔහු සඳහන් කළේය.

ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීමට අදාළව කිසිදු කොන්දේසියක් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර නැති බවද,සියලු සාකච්ඡා ඵලදායි බවද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

මේ අතර අද පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවක දී සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් වැඩබලන ජනමාධ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගෙන් විමසීමේදී ඔහු කියා සිටියේ මාධ්‍ය මගින් වාර්තාවන තොරතුරු අසත්‍යය නොවන බවයි.

හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීම කෙරෙහි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව ඇති බව තමන් දැන සිටි වග"ද හින්දු"පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ ආර්.කේ රාධා ක්‍රිෂ්ණන් මහතා ඊයේ අද දෙරණට කියා සිටියේය. ඒ පිළිබඳ ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගෙන් විමසා බැලීමට තමන්ට සිත්වූයේ ඒ නිසා යයිද හෙතෙම කියා සිටියේය.

බන්ධනාගාර ගතකර සිටින සරත් ෆොන්සේකා මහතාට කඩිනමින් නිදහස ලබාදෙන බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසු බව"ද හින්දු"පුවත්පත අද මුල්වරට නිල වශයෙන් අනාවරණය කිරීමෙන් පසු අද දෙරණ හා එක්වෙමින් රාධා ක්‍රිෂ්ණන් මහතා මේ බව කියා සිටියේය.

පෙරේදා(14) පැවැති "ගෝඨාස් වෝර්"කෘතිය එළිදැක්වීමේ අවස්ථාවේ පැවැත්වූ කෙටි පිළිසඳරකදී ජනාධිපතිවරයා තමන් සමග එය පැවසූ බව "ද හින්දු"පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයා සහ මෙරට නියෝජිතයා සිහිපත් කළේය.

එහිදී"ප්‍රශ්නයක් නෑ.මං ටිරාන් අලස් එනකල් ඉන්නේ..ඔහු ආවම කතා කරලා මම නිදහස් කරනවා"යයි ජනාධිපතිවරයා කියා සිටි වගත්,එහිදී තමන් එක වර පුදුමයට පත් වූ බවත් රාධා ක්‍රිෂ්ණන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

2010 වසරේ පෙබරවාරි මස 09 වැනිදා යුද හමුදා පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ෆොන්සේකා මහතාට චෝදනා කිහිපයකට යුද අධිකරණයෙන් සහ මහාධිකරණයෙන් වරදකරු කොට සිරදඬුවම් නියම කෙරුණි.

ඔහුට නිදහස ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්තී‍්‍ර ටිරාන් අලස් මහතා ජනාධිපතිවරයා සමග සාකච්ඡා පවත්වන බව "අද දෙරණ" පසුගිය වසරේ දෙසැම්බර් මස 18 වැනි දින මුල් වරට අනාවරණය කරන ලදී. එම සාකච්ඡාවල ප‍්‍රතිඵලයක් ලෙස ෆොන්සේකා මහතාව නිදහස් කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කර තිබීම විශේෂත්වයකි.

කෙසේවෙතත් පසුගිය දින කිහිපයේ විදේශගතව සිටි ටිරාන් අලස් මහතා ඊයේ පස්වරුවේ යළි දිවයිනට පැමිණි අතර අද පෙරවරුවේ ජනාධිපතිවරයා සමග මෙසේ සාකච්ඡාවට එක්වී තිබුණි.